එක්සත් රාජධානිය: පුහුණු වෛද්‍ය සහ හෙද ශ්‍රමිකයින් සඳහා සංක්‍රමණ නීති ලිහිල් කිරීමක්

Image copyright Getty Images
Image caption වෛද්‍ය සහ හෙද සේවකයන් වෙනුවෙන් සංක්‍රමණ නීති ලිහිල් කිරීමක්

යුරෝපා ආර්ථික කලාපයට අයත් නොවන රටවලින් පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ අරමුණින්, එක්සත් රාජධානිය සංක්‍රමණ නීති ලිහිල් කිරීමට සුදානම්වේ.

වාර්ෂිකව යුරෝපා ආර්ථික කලාපයට අයත් නොවන පුහුණු ශ්‍රමිකයන්ට නිකුත් කරන විසා බලපත්‍ර ප්‍රමාණය 20 700 ක උපරිමයකට යටත් කළයුතු බවට සීමා පනවන ලද්දේ වත්මන් අග්‍රාමාත්‍ය තෙරේසා මේ, ස්වදේශ ලේකම්ව සිටි අවධියේය.

නමුත් එය සෞඛ්‍ය කේෂ්ත්‍රයට අවශ්‍ය සේවකයන් බඳවා ගැනීමේදී ගැටලු ඇතිකරන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවයේ (NHS) ප්‍රධානීන් මැසිවිළි නගා තිබිණි.

නව ප්‍රවනතාව පිළිබඳ අදහස් දක්වමින් "එය නිවැරදිම තීරණයක්" යනුවෙන් එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාවේ ප්‍රකාශකයෙක් බීබීසී වෙත පැවසීය.

"රටේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල පුරප්පාඩු පුරවා ගැනීමට ගැනීමට බලවත් පරිශ්‍රමයක් දැරූ ජාතික සෞඛ්‍ය භාරකාර මණ්ඩලයට මෙය විශාල සහනයක් වේවි" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තමන් මෙම ලිහිල් කිරීම් පිළිගන්නා නමුත්, එය දීර්ඝකාලීන විසඳුමක් නොවන බව සංක්‍රමණික සීමා සඳහා බලපෑම් කරන කණ්ඩායමක් වන Alp Mehmet හි නියෝජිතයෙක් පැවසීය.

"අප අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට අමතක නොකළයුතුයි"

එක්සත් රාජධානිය, "අපට වඩා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා ඇති රටවල් ආක්‍රමණය නොකළයුතු" බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Tier 2 වීසා නම්වන අදාළ විසා බලපත් නිකුත් කරනු ලබන්නේ ස්විට්සර්ලන්තය සහ යුරෝපා ආර්ථික කලාපයට අයත් නොවන රටවලින් එක්සත් රාජධානිය වෙත පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම වෙනුවෙනි.

අදාළ රටවල වෙසෙන පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන විසා අයදුම්පත් 2 360 ක් ඉහත සීමා කිරීම් හේතුවෙන් පසුගිය මාස 5ක කාලයකදී ප්‍රතික්ෂේපවී ඇති බව Financial Times බ්‍රහස්පතින්දා (14) වාර්තා කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දියානු වෛද්‍යවරුන් සියයකගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේපවීමෙන් පසු, තමන්ගේ සේවා සැපයීමේ හැකියාවට දැඩි බලපෑම් ඇතිවෙමින් පවතින බව ජාතික සෞඛ්‍ය සේවයේ කළමණාකාරීත්වය අනතුරු ඇඟවීය.

පෙබරවාරි මාසය වනවිට එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවයේ වෛද්‍ය පුරප්පාඩු ආසන්න වශයෙන් 10 000 ක් සහ හෙද සේවයේ පුරප්පාඩු 35 000 ක් තිබිණි.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර