ඊශ්‍රායලය: වංචා චෝදනා යටතේ අගමැති බිරිඳට එරෙහිව නඩු පවරයි

Image copyright Reuters
Image caption අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ බිරිඳ සාරා

රාජ්‍ය මුදල් අවභාවිත කර වංචා සිදු කිරීමේ චෝදනා යටතේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබේ.

අගමැති නිල නිවසේ උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බව පවසමින් සාරා නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

පොලිස් පරීක්ෂණයකින් අනතුරුව විශ්වාසය කඩ කරනු ලැබීම යටතේ ද නඩු පවරා ඇතැයි එරට අධිකරණ අමාත්‍යංශය පවසයි.

කෙසේනමුත් අගමැති බිරිඳ ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අදාළ චෝදනා යටතේ නඩු පැවරීම ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් විසින් විග්‍රහ කරනු ලබන්නේ මුලාවක් සහ හාස්‍යජනක ක්‍රියාවක් ලෙසය.

සාරා නෙතන්යාහු සමග, අගමැති කාර්යාලයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එස්රා සෙයිඩොෆ්ට එරෙහිව ද නඩු පවරනු ලැබ ඇත.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඇති කරුණු සහ සාක්ෂි විමර්ශනය කර ඉහත කී චෝදනා යටතේ නඩු පැවරූ බව ජෙරුසලමේ දිස්ත්‍රික් නීතිපති කාර්යාලය පැවසීය.

ඊශ්‍රායල මාධ්‍යයේ දැඩි අවධානයට ලක්වූ දීර්ඝ කාලයක් විමර්ශනය කෙරුණු චෝදනා සම්බන්ධයෙන් අගමැති බිරිඳට එරෙහිව නඩු පැවරීම පිළිබඳ අවධානය යොමුවී ඇති බව නීතිපති අවිෂායි මැන්ඩෙල්බිට් පසුගිය වසරේදී සඳහන් කළේය.

චෝදනා මොනවාද?

අධිචෝදනා පත්‍රයේ සඳහන් පරිදි 2010 සැප්තැම්බර් සිට 2013 මාර්තු දක්වා කාලය තුළ අගමැති නිල නිවසට ආහාර ගෙන ඒමේදී සහ පෞද්ගලික අරක්කැමියන්ගේ සේවය ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති වියදම් සම්බන්ධයෙන් සාරා නෙතන්යාහු සහ එස්රා සෙයිඩොෆ්ට චෝදනා එල්ල වේ.

අගමැති නිලනිවසේ අරක්කැමියෙකු සිටියදීම ඉහත කී වියදම් ඉදිරිපත් කර ඇති බව පැවසේ. නිල නිවසේ අරක්කැමියා සහ කුලී පදනමින් ගන්නා අරක්කැමියන් යන දෙපාර්ශවයටම රාජ්‍ය මුදල් ලබා දීම සඳහා අනුමැතිය නොලැබේ.

පසුගිය සැප්තැම්බර් මසදී නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ඒ ආකාරයට අවන්හල් හරහා භෝජන සංග්‍රහ සිය ගණනක් වංචනික ලෙස ලබා ගෙන" ඇති බවය.

තවත් තොරතුරු:

සිය චරිතය සහ පවුලට විරුද්ධව තම දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙහෙයවනු ලබන දඩයමක් බව පවසමින් ඒ සම්බන්ධයෙන් අගමැති නෙතන්යාහු කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.

"සාරා නෙතන්යාහු කියන්නේ අවංක සහ ගෞරවාන්විත කාන්තාවක්. ඇයගේ ක්‍රියාකලාපයේ කිසිදාක වරදක් සිදුවී නැහැ," අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුවේ පලකළ නිවේදනයක දැක්වේ.

වංචාවක් හෝ විශ්වාසය කඩවීමක් සිදුව නොමැති බවත් අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අගමැති බිරිඳ දැනුවත්ව නොසිට ඇති බවත් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු පවසති. ආහාර ඇනවුම් කළ අගමැති නිල නිවසේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලු හිටපු කළමනාකරු රජයේ සාක්ෂිකරු වී ඇති බවත් ඔවුහු සඳහන් කරති.

බීබීසී යෙන්