මේ සෞඛ්‍ය ගැටලු ගැන ඔබ දැනුවත්ද?

Middle-aged man with a tape measure

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මැදිවයසේ පසුවන ඔබ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවා ගැනීමේ සැලසුම් තවත් දිනකට කල් තබන්නෙක්ද?

එය එසේ නම්, අලුතින් සිදු කළ අධ්‍යයන දෙකක් මගින් ඔබට ඒ සඳහා ඇති හදිසි අවශ්‍යතාව අවබෝධ කරවනු ඇත.

මැදිවයසේ ඇතිවන අධිරුධිර පීඩනය ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරුවීමට ඇති අවදානම ඉහළ නංවන බව එක් අධ්‍යයන වර්තාවක සඳහන් වේ.

මැදිවියේදී දුර්වල වීම, අඩුවයසෙන් මරණයට පත්වීමට ඇති හැකියාව ඉහළ නංවන බව අනෙක් වාර්තාවේ දැක්වේ.

මැදිවයසේදී ශරීර යෝග්‍යතාව අඩුවීම කුමන ආකාරයේ අයහපත් බලපෑමක් එක් කරයිද? එය අනාගතයයේදී සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතුවෙයිද?

ඩිමෙන්ෂියා අවදානම කෙබඳුද?

'යුරෝපියන් හාට් ජර්නල්' හි පළ කර ඇති අධ්‍යයන වාර්තාවට අනුව, රසදිය මිලිමීටර 130 හෝ ඊට වැඩි සංන්‍යස්ත රුධිර පීඩනය (systolic pressure) සහිත පනස්වන වියේ පසුවන පුද්ගලයන් ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමේ අවදානම, සාමාන්‍ය රුධිර පීඩනය සහිත පුද්ගලයන්ට වඩා 1.5 ගුණයකින් වැඩිය.

රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන්, හසු නොවන ආකාරයේ "නිසල" හෝ අඩු මට්ටමේ ආඝාත තත්ත්වයන් ඇතිවීම ඒ සඳහා හේතුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.

පනස් වියේදී අධිරුධිර පීඩනය සහ ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව, පුද්ගලයන් 8,639 දෙනෙකු යොදා ගෙන කළ අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත. නමුත් ඊට හේතුව සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් ඔප්පු කළ නොහැකිය.

අවුරුදු 60 හෝ 70 වයසේ පසුවන පුද්ගලයන්ට එවැනි සම්බන්ධතාවක් නොමැති බව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත.

වයස අවුරුදු 45 සිට සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටත් සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකුටත් සුලබ ඩිමෙන්ෂියා තත්ත්වයක් වන ඇල්ෂයිමිර් (Alzheimer) අවදානම පවතින බව ඇස්තමේන්තු කර තිබේ.

අධිරුධිර පීඩනය සහ ඩිමෙන්ෂියා තත්ත්වය අතර සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි පවතින්නේ යයි එක්සත් රාජධානියේ 'ඇල්ෂයිමිර් රිසර්ච්' (Alzheimer's Research UK) ආයතනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දුර්වලවීම බලපාන්නේ කෙසේද?

දුර්වලවීම ජීවිතයේ පසුකාලීනව සෞඛ්‍ය අවදානමක් ගෙන දෙන අතර සෙසු තත්ත්වයන් ඇතුළුව එය පිරිහීමට ඇති හැකියාව ඉහළ නංවයි.

ජීවිතයේ මුල් අවධියේදී දුර්වලවීම, රෝගී සෞඛ්‍ය තත්ත්වයකට සහ අඩු වයසින් මරණයට පත්වීමේ අවදානමකට හේතු විය හැකි යයි පෙනෙන්නට ඇති බව පුද්ගලයන් 493,737 දෙනෙකුගේ දත්ත පරීක්ෂාවට ලක් කළ තවත් අධ්‍යයනයක් මගින් සොයා ගනු ලැබ ඇත.

පහත සඳහන් සෞඛ්‍ය ගැටළුවලින් තුනක්වත් ඇති පුද්ගලයන්, 'දුර්වලවීමට ගොදුරු වූ පුද්ගලයන්' ලෙස හැඳින්විය හැකි බව 'ලැන්සෙට් පබ්ලික් හෙල්ත්' (Lancet Public Health) සඟරාවේ පළ කළ අධ්‍යයනයේ සඳහන් වේ.

  • ශරීර බර අඩුවීම
  • අධික වෙහෙස
  • ග්‍රහණය කර ගැනීමේ ශක්තිය දුර්වලවීම
  • ශාරීරිකව ක්‍රියාශීලීත්වය අඩුවීම
  • ඇවිදීමේ වේගය අඩුවීම

සෙසු කරුණු (සමාජ ආර්ථික තත්ත්වය, දීර්ඝ කාලීන තත්ත්වයන්, දුම්බීම, මත්පැන් භාවිතය සහ ස්කන්ධ දේහ දර්ශකය) සලකා බලා අවුරුදු 37 - 45 අතර වයසේ පසුවන පුද්ගලයන්, එම වයස් ඛාණ්ඩයේම දුර්වල නොවන පුද්ගලයන්ට වඩා 2.5 ගුණයක් මරණයට පත්වීමේ අවදානමක පවසුවන බව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත.

සෙසු සියලුම වයස් ඛාණ්ඩවලට (45-55, 55-65 සහ 65-73) ද එම අගය සමාන වේ.

දුර්වල යයි විනිශ්චය කළ සහ වයස අවරුදු 45 හෝ ඊට වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් ද සමාන තත්ත්වයන් සොයා ගනු ලැබ ඇත.

ශරීරයේ පටක ඝනවීමේ රෝග තත්ත්වය (multiple sclerosis) සහ නිදන්ගත වෙහෙසකාරී සින්ඩ්‍රෝම තත්ත්වය (chronic fatigue syndrome) දුර්වල පුද්ගලයන් තුළ වැඩි වශයෙන් දැකිය හැක.

මුල් අවධියේදීම දුර්වලවීම හඳුනාගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය යයි ඉහත කී සොයාගැනීම් මගින් පෙන්නුම් කරන බව

අධ්‍යයනයේ ප්‍රධාන කතෘ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රාන්සස් මයිර් (Frances Mair) පවසයි.

කළ හැක්කේ කුමක්ද?

දුර්වලවීම පිළිබඳ කළ අධ්‍යයනයේ සම කතෘ ආචාර්ය පීටර් හැන්ලොන් (Dr Peter Hanlon) පවසන්නේ දුර්වලවීම කලින් හඳුනා ගතහොත් එම තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් පවතින බවය.

මැදිවියේදී ශරීර යෝග්‍යතාව පිරිහුණු පුද්ගලයන් "හැකි ඉක්මනින්" යහපත් සෞඛ්‍ය වෙනස්කම් ඇති කර ගත යුතු බව, ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ පේශි සහ අස්ථි වයස්ගතවීම පිළිබඳ මහාචාර්ය ඉලෙරියා බෙලන්ටුනෝ (Ilaria Bellantuono) පවසන්නීය.

"ප්‍රධානම දේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම. කළ හැකි එකම දේ එය පමණයි" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශරීර බර අඩු කර ගැනීම, දුම්පානය නැවත්වීම, මත්පැන් භාවිතයෙන් වැළකීම, දිනපතා ව්‍යායාම කිරීම සහ ලුණු අඩු වශයෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කර ගැනීමට කළ හැකි ඇතැම් කාර්යයන්ය.

වයස්ගත වෙත්ම ඩිමෙන්ෂියා අවදානම අවම කර ගැනීම සහ මොළය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා ද ඉහත කී කාර්යයන් උපකාරී වන බව 'ඇල්ෂයිමිර් රිසර්ච්' ආයතනයේ ආචාර්ය ලෝරා පිප්ස් (Dr Laura Phipps) කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලුණු අඩු වශයෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කර ගැනීමට ගත හැකි එක් පියවරකි

නමුත් පුද්ගල පුරුදු වෙනස් කළ හැක්කේ කෙසේදැයි යන්න සමාජය හමුවේ පවතින දැඩි ප්‍රශ්නයකි.

සෞඛ්‍ය අනතුරු ඇඟවීම් පමණක් ඇතැම් පුද්ගලයන්ට ප්‍රමාණවත් නොවන බව ආචාර්ය බෙලන්ටුනෝ පෙන්වා දෙයි.

ව්‍යායාම කිරීමට සහ සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා ඇතැම් පුද්ගලයන්ට "අභ්‍යන්තර පෙළඹවීමක්" අවශ්‍ය බව ඇය කියා සිටියාය.

"මුනුබුරු මුනුබිරියන් සමග කාලය ගත කිරීම හෝ පාපන්දු තරගයක් නැරඹීමට යාම වැන්නක් විය හැකියි," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.