සිරියාව: හමුදා මෙහෙයුම් හමුවේ 'ලක්ෂ ගණනක් නිවාස අත්හැර පලායනවා'

Image copyright AFP
Image caption ජෝර්දාන දේශසීමාව ආසන්නයේ තාවකාලික කඳවුරු ඉදිකරගෙන සිටින අවතැන් වූවෝ

මෙයින් සති දෙකකට පෙරාතුව සිරියාවේ නිරිත දිග ප්‍රදේශයේ කැරලිකාර පාලනය පවතින ප්‍රදේශවල හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව 270,000 කට ආසන්න පිරිසක් සිය නිවාස අත්හැර පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඩෙරා (Deraa) සහ කුනේයිත්‍රා (Quneitra) පළාත්වලින් පලායන බොහෝ දෙනා ඊශ්‍රායලයේ පාලනය පවතින ගෝලාන් කඳුකරය ප්‍රදේශයට සහ ජෝර්දාන දේශසීමාව කරා ළඟාවෙමින් සිටිති.

එහෙත් අනාථයන් එතරම් විශාල ප්‍රමාණයක් පිළිගන්නා බව ඒ කිසිදු රටක් සඳහන් කර නැති බැවින් බරපතල මානවීය අර්බුදයක් පිළිබඳව බිය පළවෙමින් පවතී.

රුසියානු ගුවන් ප්‍රහාරවල ද ආධාර සහිතව ආණ්ඩුවේ හමුදා ඉදිරියට ඇදෙමින් සිටිති.

සිය ආයුධ අත්හැර ජනාධිපති බෂාර් අල් අසාඩ් ගේ පාලනය පිළිගැනීමට බොස්රා අල් ෂාම් (Bosra al-Sham) නගරයේ කැරලිකරුවන් ඉරිදා එකඟ වූ බව වාර්තා වේ.

දෙපාර්ශ්වය අතර ගැටුම් උත්සන්න වූ අවස්ථාවේ පටන් මේ වනවිට සාමාන්‍ය වැසියන් 130 කට වැඩි පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය (Syrian Observatory for Human Rights) පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ජෝර්දානයේ මැදිහත්වීමෙන් එකඟ වූ සටන් අඩුකිරීමේ සම්මුතිය හේතුවෙන් ඩෙරා සහ කුනේයිත්‍රා ප්‍රදේශවල වසරකට ආසන්න කාලයක් සාපේක්ෂ සාමකාමී තත්ත්වයක් පැවතිණි.

ජෝර්දානය අසාඩ් පාලනයේ විරුද්ධවාදීන්ට සහාය පළකරන අතර රුසියාව සිරියානු නායකයාගේ ප්‍රබල ආධාරකරුවෙකි.

එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ දමස්කස් අගනුවරින් එපිට නැගෙනහිර ගවුටා (Ghouta) ප්‍රදේශය පාලනය කළ කැරලිකරුවන් පලවා හැරීමෙන් අනතුරුව ප්‍රාන්තයේ පූර්ණ බලය අත්පත් කරගැනීමට ජනාධිපති අසාඩ් උත්සාහ කරමින් සිටී.

තවත් කියවන්න: