Gmail ගිණුම්වල 'ඊමේල් කියවන තෙවෙනි පාර්ශ්වීය පුද්ගලයින්'

Gmail security Image copyright Getty Images

Gmail හරහා කෙරෙන පෞද්ගලික විද්‍යුත් තැපැල් (email) ගනුදෙනු උපකරණවලට පමණක් නොව, ඇතැම් අවස්ථාවලදී app (ඇප්) නිර්මාණය කරන තුන්වෙනි පාර්ශවීය පුද්ගලයින්ට ද කියවිය හැකි බව ගූගල් සමාගම තහවුරු කර සිටී.

සිය ගිණුම්වලට තෙවෙනි පාර්ශවයක් විසින් නිපදවන ලද app සම්බන්ධ කරගෙන ඇත්නම් එය ගිණුම්වල විද්‍යුත් පණිවිඩ කියවීමට තවත් පුද්ගලයෙකුට ලබා දෙන අවසරයක් වැනිය.

මෙය "ප්‍රසිද්ධ" සහ "කුණු රහසක්" බව එක්තරා සමාගමක් වෝල් ස්ට්‍රීට් පුවත්පතට (Wall Street Journal) පවසා තිබේ.

කෙසේවෙතත්, මෙම ක්‍රියාව සිය සමාගමේ ප්‍රතිපත්තිවලට එරෙහි නොවන බව ගූගල් සමාගම පවසයි.

ගූගල් සමාගම මෙකී ක්‍රියාවට අවසර දීම "පුදුමයක්" බව ආරක්ෂක විශේෂඥයෙක් පැවසීය.

බිලියන 1.4 ක පරිශීලකයින් පිරිසක් සිටින Gmail ලොව ජනප්‍රියතම විද්‍යුත් තැපැල් සේවාව වේ.

පුද්ගලයෙකුගේ ගිණුමක් තෙවෙනි පාර්ශ්වයක විද්‍යුත් තැපැල් කළමනාකරණ මෙවලමකට සම්බන්ධ කර ගැනීමට හෝ සංචාර සැලසුම්කරණය හා මිල සැසඳුම් වැනි සේවාවන්ට සම්බන්ධ කර ගැනීමටද ගූගල් සමාගම ඉඩ සලසා තිබේ.

Image copyright Google

විද්‍යුත් තැපැල් ගිණුමක් බාහිර සේවාවක් සමග සම්බන්ධ කරන අවස්ථාවේ දී එයට අවසරය දෙන ලෙස ගිණුම් හිමියාගෙන් ඉල්ලීමක් කරන අතර, බොහෝවිට එය "ඔබගේ ලිපි කියවීමට, යැවීමට, මකා දැමීමට සහ කළමනාකරණය කිරීමට" හැකියාව සැලසී ඇත.

මෙම අවසරය ලබා දීම තුළින් සමහර අවස්ථාවලදී app නිර්මාණකරුවන්ගේ සේවකයන්ට පවා යම් ගිණුමක විද්‍යුත් තැපැල් කියවිය හැකි බව වෝල් ස්ට්‍රීට් පුවත්පතෙහි සඳහන් වී තිබුණි.

'අවසර ඉල්ලන්නේ නැහැ'

සිය සේවකයින් විසින් විද්‍යුත් පණිවිඩ "දහස් ගණනක්" කියවනු ලැබ ඇති සමාගම් සමග වෝල් ස්ට්‍රීට් පුවත්පත සාකච්ඡා පවත්වා තිබිණි.

එඩිසන් මෘදුකාංග සමාගම පුවත්පතට පැවසූ පරිදි ඔවුන් මෘදුකාංගයක නව විශේෂාංගයක් නිර්මාණය කිරීම සඳහා සිය ගණනක් පරිශීලකයින්ගේ විද්‍යුත් තැපැල් සමාලෝචනය කර ඇත.

eDataSource Inc සමාගම පැවසුවේ ඇල්ගොරිතම වැඩිදියුණු කිරීමේ අරමුණින් සිය පරිගණක ඉංජිනේරුවන් පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ගිණුම්වලට පිවිසුණ බවය.

Image copyright Google

Gmail ගිණුම්වලට පිවිසීමට විශේෂ අවසරයක් අවශ්‍ය නොවන අතර, මෙම ක්‍රියාව ඔවුන්ගේ පරිශීලක ගිවිසුම්වලින් ආවරණය වන බව සමාගම් පවසති.

"ඊමේල් ගිණුම්වල කොන්දේසි කියවන්න ඔබේ ජීවිතයෙන් සති කීපයක් ගත වෙන්න පුළුවන්" යැයි සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් පැවසීය.

"කොන්දේසිවල මේ දේවල් සඳහන් කර තිබෙන්න පුළුවන්. නමුත්, තුන්වෙනි පාර්ශවයක් වන සමාගමකට අයත් පුද්ගලයෙක් ඔබේ ඊමේල් පණිවිඩ කියවන ක්‍රියාව සාධාරණ යැයි සිතන්න බැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

අදාළ පරිශීලකයන් සිය "ඊමේල් වෙත පිවිසීමට අවසර ලබා දී ඇත්නම් පමණක්" නිසි අවසර ලබාගත් සමාගම්වලට විද්‍යුත් පණිවිඩවලට ප්‍රවේශ විය හැකි බව ගූගල් සමාගම පවසයි.

"ගූගල් පරිශීලකයින්ව විස්මයට පත්වන ක්‍රියා නොකළ යුතුයි : ඔබේ මෘදුකාංගයෙහි (app) වෙළෙඳපොළ අරමුණු සමග නොගැලපෙන සැඟවුණු විශේෂාංග, සේවා හෝ ක්‍රියා සිදුවේ නම් ගූගල් API වෙත පිවිසීමේ හැකියාව අත්හිටුවීමට ක්‍රියා කරනු ලැබේ." යනුවෙන් දැක්වෙන නිර්මාපකයින් පිළිබඳ සිය ප්‍රතිපත්තිය පිළිබඳ ගූගල් සමාගම බීබීසී වෙත පැහැදිලි කළේය.

Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුමේ ආරක්ෂක පිටුව වෙත පිවිසීමෙන් ගිණුමට සම්බන්ධ app දැකගත හැකිය. ඉන්පසු, තවදුරටත් ඔබේ දත්ත බෙදා ගැනීමට අකමැති app වේනම් ඒවා ඔබේ ගිණුමෙන් ඉවත් කළ හැකිය.

මේ තොරතුරුද කියවන්න: