ඩොනල්ඩ් ට්‍රම්ප්: බ්‍රෙක්සිට් සැළසුම් ක්‍රියාත්මක වුවහොත් බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු වෙළෙඳ වාසි "අහිමිවේවි"

Image copyright AFP/GETTY

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් ඉදිරියට යන්නේ නම් එක්සත් රාජධානියට බොහෝවිට ඇමෙරිකානු වෙළෙඳ වාසි "නොලැබිය හැකි" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්කෙරෙන ද සන් (The Sun) පුවත්පත සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් "බොහෝවිට (වෙළෙඳ) අවකාශ මරාදමනු ඇති" බවය. ඒ අනුව එක්සත් රාජධානිය වෙනුවට ඇමෙරිකාව "යුරෝපා සංගමය සමග වෙළෙඳ ගනුදෙනුවල නිරතවනු ඇත."

බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කාර්යාලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

ජනපති ට්‍රම්ප්ගේ පළමු බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා කළාය. එහිදී යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඇමෙරිකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වර්ධනයක් ඇති කිරීමට ලබුණු "අවස්ථාවක්" බව ඇය ප්‍රකාශ කළාය.

Image copyright Reuters
Image caption බ්ලෙන්හෙම් මාලිගයේදී ජනපතිවරයා සහ බිරිඳ බ්‍රහස්පතින්දා රතු පලස් මත පිළිගන්නා ලදී

හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් "විශිෂ්ඨ අගමැතිවරයෙක්" වනු ඇති බව 'ද සන්' පුවත්පත සමග පැවැති සාක්ච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ. "මම හිතනවා ඔහුට අවශ්‍ය දේ තියෙනවා කියල," යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානියේ සංචාරයේ නියුතු ජනපතිවරයා සහ බිරිඳ බ්‍රහස්පතින්දා (12) සවස ඔක්ස්ෆොර්ඩ්ශයර්හි පිහිටි බ්ලෙන්හෙම් මාලිගයේදී රතු පලස් මත පිළිගන්නා ලදි.

ජනාධිපති ට්‍රම්ප් එක්සත් රාජධානියට පැමිණීමට ප්‍රථම බ්‍රසල්ස් හිදී එම සාකච්ඡාව පවත්වන ලද බව 'ද සන්' පුවත්පත පවසයි. එය ප්‍රකාශයට පත්වන අවස්ථාවේ ජනපතිවරයා අග්‍රාමාත්‍යවරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියේය.

ජනපතිවරයා "අග්‍රාමාත්‍යවරියට බොහෝ කැමති සහ ගරු කරනවා" යනුවෙන් එම සාකච්ඡාව පළවීමත් සමග ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසීය. "ඇය (අග්‍රාමාත්‍යවරිය) පිළිබඳ නරකක් කිසිම තැනක ප්‍රකාශ කර නැහැ," යනුවෙන් ද ප්‍රකාශිකාව සඳහන් කළාය.

Image copyright Reuters

බ්‍රෙක්සිට් ජනමත විමසුමෙන් අනතුරුව යුරෝපා හවුල සමග එක්සත් රාජධානියේ ඇති සබඳතාවය "ඡන්ද විමසුම පැවති අවස්ථාවට වඩා බොහෝ වෙනස්" බව ට්‍රම්ප් ද සන් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ රජය පසුගිය සතියේ ඉදිරිපත් කළ යෝජනා "නිසැක වශයෙන්ම ඇමරිකාව සමග පවතින වෙළඳාමට නිශේධනීය බලපෑමක් කරණු ඇති" බව ඔහු පවසා තිබේ.

බ්‍රෙක්සිට් යෝජනා සිදුකළ යුතු ආකාරය පිළිබඳව තමන් අග්‍රාමාත්‍යවරියට පැවසූ බව ප්‍රකාශ කරන ජනපති ට්‍රම්ප්, "ඇය එකඟ නැහැ, ඇය මට සවන් දෙන්නෙ නැහැ" යනුවෙන් ද පවසයි.

ජනපතිවරයාගේ එක්සත් ජනපද සංචාරය බ්‍රහස්පතින්දා ආරම්භ විය.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර