පාකිස්තානය: හිටපු අගමැති නවාස් ෂරීෆ් 'සිර මැදිරියට' මුහුණදීමට පැමිණෙයි

Image copyright AFP

පාකිස්තානයේ අගමැති ධුරයෙන් නෙරපන ලද නවාස් ශරීෆ්, දූෂණ සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පනවා ඇති වසර 10 ක සිරදඬුවම නොසළකා පාකිස්තානයට ළඟාවීමට නියමිතය.

සිකුරාදා (13) ලන්ඩනයෙන් පිටත්වූ ඔහු සහ දියණිය මරියම් ලහෝර් වෙත පැමිණීමත් සමග අත් අඩංගුවට පත්වෙනු ඇත.

තෙවරක් පාකිස්තානයේ අගමැති ලෙස තේරී පත්වූ නවාස් ශරීෆ් පසුගිය වසරේ තනතුරින් නෙරපා හරින ලද්දේ දූෂණ චෝදනා පරීක්ෂණයකින් අනතුරුවය.

Image copyright AFP

ජූලි 25 මැතිවරණය ඉදිරියේ තමන්ට එරෙහිව කුමන්ත්‍රණ කරන බවට පාකිස්තානයේ බලවත් ආරක්ෂක අංශයට නවාස් ෂරීෆ් චෝදනා කළේය.

"රටක් ඇතුළේ රටක් කියල අපි කියන්න පුරුදුවෙලා හිටපු වෙලාවක් තිබුණා. දැන් ඒක රටකට ඉහළින් රටක්," ලන්ඩනයේ සිටින සිය ආධාරකරුවන්ට නවාස් ෂරීෆ් බදාදා පැවසුවේය.

හිටපු නායකයාට දූෂණ චෝදනා එල්ලවූයේ ලන්ඩනයේ ඇති ඔහුගේ පවුලට අයත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් සම්බන්ධයෙනි.

මරියම් ෂරීෆ් මව් රටට එන අතරතුර අබුඩාබි ගුවන් තොටුපළේ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබිණි.

තම ආදායමට වැඩි වත්කමකට හිමිකම් කීම සම්බන්ධයෙන් නවාස් ෂරීෆ්ට වසර 10 ක සිර දඬුවමක් ද, නඩු විභාගයට සහාය නොදීම යන චෝදනාව සඳහා වසරක කාලයක් ද වශයෙන් එක්වර ගෙවෙන ලෙස වසර 10 ක සිර දඬුවම් පසුගිය සතියේ අධිකරණය නියම කළේය.

ඔහුගේ දියණියවන මරියම් නවාස් ෂරීෆ් අපරාධයට අනුබල දීම වෙනුවෙන් සත් වසරක සිර දඬුවමකට යටත් කෙරිණි. එසේම, නඩු විභාගයට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඇයටද වසරක සිර දඬුවම් නියමවූ අතර එම දඬුවම් දෙකම එකවර ගෙවීයන ලෙස පැනවීය.

ඊට අමතරව නවාස් ෂරීෆ්ට පවුම් මිලියන 8 ක දඩයක් ද මරියම් ෂරීෆ්ට පවුම් මිලියන 2 ක දඩයක්ද පනවන ලදී.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර