පූතින් ට්‍රම්ප් හමුව: ජනාධිපතිවරණය මුල් කරගනිමින් විවේචනාත්මක ප්‍රහාර

Reuters

2016 ජනාධිපතිවරණයට බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව ආරක්ෂා කිරීම පිළිබඳ ඇමරිකාව තුළ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

ෆින්ලන්තයේදී ජනාධිපති පූතින් සමග පැවති හමුවකදී ඇමරිකානු බුද්ධි අංශවල මතයට විරුද්ධ මතයක් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුනේ ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා රුසියාවට හේතුවක් නොමැති බවය.

"රුසියාව අපේ මිත්‍ර රාජ්‍යයක් වශයෙන්" නොදැකිය යුතු බව කොංග්‍රසය නියෝජනය කරන ඉහළ රිපබ්ලිකන් නියෝජිතයෙකු වන කථා නායක පොල් රයන් කියා සිටියේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ බුද්ධි අංශ ප්‍රධානියා ද ඔහු විසින් දක්වන ලද ඉහත කී මතයට විරුද්ධ මතයක් පළ කර තිබේ.

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවතක්සේරු කිරීමේ නිරන්තර උත්සාහයන්ට රුසියාව වගකිවයුතු බව ඇමරිකාවේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කෙසේනමුත් අදාළ චෝදනා ජනපති පූතින් ප්‍රතික්ෂේප කරයි.

උපදේශකවරුන්ගේ ද සහභාගීත්වයක් නොමැතිව ජනපතිවරු දෙදෙනා අතර සඳුදා (ජුලි 16) ෆින්ලන්තයේ හෙල්සිංකි අගනුවරදී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි.

ට්‍රම්ප් ප්‍රකාශකළේ කුමක්ද?

සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී, ජනාධිපතිවරණයට බලපෑම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ තමන්ගේම බුද්ධි අංශ ද නැතහොත් රුසියානු ජනාධිපතිවරයා දැයි මාධ්‍යවේදීහු ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසූහ.

"ජනාධිපති පුතින් කියනවා රුසියාව එසේ නොකළ බව. එහෙම කරන්නට තරම් හේතුවක් මටත් පෙනෙන්නට නැහැ," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසීය.

එසේම, රුසියානු ක්‍රියාපිළිවෙතට වඩා පැවති ඇමරිකානු පාලනයන් රුසියාව සමග පවත්වන ලද දුර්වල සබඳතා ජනාධිපති ට්‍රම්ප්ගේ දෝෂාරෝපණයට ලක්විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ට්‍රම්ප් හෙල්සිංකි නගරයට ගොඩබැසීම

රාජ්‍ය අනුග්‍රහය සහිතව සමාජ ජාල තුළ ව්‍යාජ පුවත් සහ සයිබර් ප්‍රහාර එල්ල කරමින් 2016 වසරේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට අවාසි සහගත අයුරින් කටයුතු කිරීමේ තැත පිටුපස රුසියාව සිටි බව ඇමරිකානු බුද්ධි අංශවල නිගමනය වී ඇත.

රාජ්‍ය අනුමැතිය සහිත සයිබර් ප්‍රහාරයන් සහ සමාජ ජාලා මාධ්‍යයන්හි පැල කළ ව්‍යාජ පුවත් කතා ඔස්සේ රුසියාව 2016 මැතිවරණයේදී හිලරි ක්ලින්ටන්ට එරෙහිව කටයුතු කළ බව ඇමෙරිකානු බුද්ධි අංශ චෝදනා කළේය.

මාධ්‍ය හමුවෙන් පසුව ට්විටර් සමාජ ජාලය ඔස්සේ වෙනස් අදහසක් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුනේ "මාගේ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ විශාල විශ්වාසයක් පවතිනවා" යනුවෙනි.