දකුණු කොරියාව: සෙවොල් යාත්‍රා අනතුරේ වින්දිතයන්ට රජය වන්දි ගෙවියයුතුයි

Image copyright AFP
Image caption 2014 දී මෙම අනතුර සිදුවිය.

'සෙවොල්' යාත්‍රා අනතුරේ වින්දිතයන්ට රජය වන්දි ගෙවියයුතු බව දකුණු කොරියානු අධිකරණයක් තීරණය කරයි.

රජය මරණවලට වගකිවයුතු බව පිළිගත් පළමු අවස්ථාව මෙයවේ.

බහුතරයක් පාසල් සිසුන්ද ඇතුළු පුද්ගලයන් 304 දෙනෙක්ට මරු කැඳවමින් ස්වොල් යාත්‍රාව 2014 දී මුහුදුබත් විය.

රජයේ වගවීම සනාථ කළයුතුව ඇතැයි පවසමින් විපතට පත්වූවන්ගේ සමහර ඥාතීහු මීට පෙර ලබාදුන් වන්දි ප්‍රතික්ෂේප කළහ.

සෙවොල් අනතුර

  • දකුණු දිග සොල්හි 'Danwon High' පාසලේ වයස අවුරුදු 16 - 17 ත් අතර දරුවන් 325 ක් ජේජු දූපතට චාරිකාවක් යමින් සිටියදී යාත්‍රාව අනතුරට පත්විය.
  • 70 ක් පමණ අනතුරින් දිවි ගලවා ගැනීමට සමත්විය. බොහෝ අය යාත්‍රාව තුළ සිටින ලෙස කළ නිවේදනයට ඇහුම්කන් දුන්නේය.
  • කාමර තුළ සිට පාවී ගොස් දිවි බේරාගත් අය පසුව හමුවූ අතර, කාර්යමණ්ඩලයේ බොහෝ අය ඔවුන්ට උදව් කිරීමට හෝ උත්සාහ නොගත් බව අනාවරණය විය.
  • මගීන් ඉවත් කිරීමට ගත් උත්සාහයේදී කාර්යමණ්ඩලයේ තිදෙනෙක් අවම වශයෙන් මියගොස් ඇත.

"රජ්‍යයේ සහ යාත්‍රා සමාගමේ නොසැළකිල්ල අනතුරට හේතුවුන බැවින් පැමිණිළිකරුවන්ට වන්දි ගෙවියයුතු බව අධිකරණය පිළිගන්නවා." බ්‍රහස්පතින්දා (ජුලි 19) අධිකරණය ප්‍රකාශ කළ බව Yonhap news ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Image copyright AFP

මරණයටපත් එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඩොලර් 177, 000 ක (වොන් මිලියන 200) වන්දියක් ගෙවීමට අධිකරණය තීරණය කළේය. ඊට අමතරව, අනතුරේදී ජීවිත අහිමිවූ දරුවන්ගේ දෙමාපියන්ට තවත් කොරියානු වොන් මිලියන 40 ක් ගෙවීමට ද නියම විය.

යාත්‍රාව ව්‍යුහාත්මකව ගත්විට ශක්තිමත් නොමැති අතර, පමණ ඉක්මවා මගීන් නංවාගෙන ඉතා වේගයෙන් ගමන් කරමින් තිබී ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නිලධාරීන් පවසා තිබේ.

2014 අප්‍රේල් 16 වෙනි දින යාත්‍රාව පෙරලී ගියේ ජේජු දූපත පසුකර යමින් සිටියදීය.

2015 දී රජය මියගිය එක් සිසුවෙක්ට ඩොලර් 380 000 බැගින් වන්දි ලබාදුන් නමුත්, පරීක්ෂණය එයින් අවසන් විය හැකියි පවසමින් බොහෝ දෙමාපියෝ එම වන්දි ප්‍රතික්ෂේප කළහ.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර