Burberry විලාසිතා සමාගම පවුම් මිලියන ගණනක භාණ්ඩ වනසයි

Burberry

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක ප්‍රසිද්ධ විලාසිතා වෙළෙඳ නාමයක් වන 'බර්බෙරි' (Burberry) පසුගිය වසර තුළ අළෙවි නොවූ පවුම් මිලියන 28.6ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5ට ආසන්න) වටිනා ඇඳුම්, ආභරණ වර්ග සහ සුවඳ විලවුන් විනාශ කර දැමීමට කටයුතු කර තිබේ.

බ්‍රිතාන්‍ය වෙළෙඳ නාමයක් වන Burberry, ඊට පෙර මූල්‍ය වසරට වඩා 6%කින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මෙම වර්ෂයේදී විනාශ කර දමා ඇත.

Burberry ඇතුළු බොහෝ විලාසිතා සමාගම් ඔවුන්ගේ වෙළෙඳනාම යටතේ අලෙවි නොවී ඉතිරිවූ භාණ්ඩ සොරකම් කිරීමෙන් සහ අඩු මුදලකට විකිණීමෙන් වළක්වා ගැනීමට මෙලෙස විනාශ කර දමනු ලබයි.

භාණ්ඩ ගිනි තැබීමේදී ජනිත වන බලශක්තිය පාලනය කරමින් එය පරිසරහිතකාමී ලෙස කළ බව Burberry වෙළෙඳනාමය පවත්වාගෙන යන සමාගම පැවසීය.

FTSE 100 - එනම් ලන්ඩන් කොටස් වෙළෙදපොල (FTSE) ප්‍රමුඛ සමාගම් 100 අතර ඇති මෙම සමාගම එක්සත් ජනපදයේ කොටී (Coty) සමාගම සමග වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසු අසාමාන්‍ය ලෙස ඉතිරි වූ Burberry සුවඳ විලවුන් තොගයක් පසුගිය වසරේදී විනාශ කර දැමීමට සිදු වූ බව පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

Burberry අත්බෑගයක් සහ ඇඳුමක්

කොටී සමාගම අලුත් භාණ්ඩ තොග නිෂ්පාදනය කරද්දී, පවුම් මිලියන 10ක් වටිනා Burberry සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ තොගයක් විනාශ කර දැමීමට සිදු විය.

Burberry වෙළෙඳනාමය යටතේ ඇති භාණ්ඩ "නැවත පණගන්වමින්" තවදුරටත් ප්‍රචාරය කිරීමට එම සමාගම වසර කීපයක සිට කටයුතු කරමින් සිටී.

මෙහි එක් පියවරක් ලෙස "උපායශීලී" නොවන ස්ථානවල පිහිටි සාප්පු වසා දමා ඉතා ඉහළ වෙළෙඳපොළකට සරිලන ආකාරයෙන් සිය භාණ්ඩ ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ. එමෙන්ම, Burberry වෙළෙඳ නාමය යටතේ අධික මිලෙන් යුත් සම් භාණ්ඩ ප්‍රචාරය කිරීමටද කටයුතු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

Burberry සුවඳ විලවුන්

මේ අතර, සමාගමේ වියදම් කපා හරිමින් වැඩි ලාභ ලබාගැනීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.

2018 මාර්තු මාසය දක්වා වූ මූල්‍ය වර්ෂයේදී Burberry සමාගමේ අලෙවිය පවුම් බිලියන 2.7ක් වූ අතර එය පසුගිය වසරවලට සාපේක්ෂව මඳ වෙනසක් ලෙස දැක්වේ. කෙසේනමුත් සමාගමේ ලාභය පවුම් මිලියන 413ක් වන අතර එය 5%ක වර්ධනයකි.

මේ තොරතුරුද දැනගන්න: