ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් තවත් ව්‍යාපාරවලින් ඉවත්වෙයි

Image copyright Getty Images

ඕස්ට්‍රේලියාවේ ධනවත් ම ව්‍යාපාරිකයින් අතර සිටි ජේම්ස් පැකර් සමාගම් 22 ක අධ්‍යක්ෂ ධූරවලින් ඉදිරි සති කීපයේදී ඉවත්වනු ඇත. මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීම ව්‍යාපාරවලින් ඉවත්වීමට හේතුවූ බව ඔහු පිළිගෙන තිබේ.

විශාල කොටස් ප්‍රමාණයක් පැකර් සතුව තිබූ ක්‍රවුන් රිසෝට් (Crown Resorts) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීමට පසුගිය මාර්තු මාසයේදී ගන්නා ලද තීරණයෙන් පසුව මෙම තත්ත්වය උදාවී තිබේ.

ඩොලර් බිලියන 4.1 ක ඇස්තමේන්තුගත වත්කමකට හිමිකම් කියන 50 හැවිරිදි ජේම්ස් පැකර්, ඕස්ට්‍රේලියාවේ බලවත්ම ව්‍යාපාරිකයෙකි.

2016 වසරේදී ඔහු ගායිකා මරායා කෙරී (Mariah Carey) සමග එළඹ සිටි විවාහ ගිවිසුමෙන් ඉවත්විය. මෙම වෙන්වීම ඔහුගේ ව්‍යාපාරික ජීවිතයට බලපාන්නට ඇති බව විශ්වාස කෙරේ.

මෙම කාලය අතරතුර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධ අපචාරයකටද ඔහු හසු විය.

Image copyright Getty Images
Image caption 2016 වසරේදී ඔහු ගායිකා මරායා කෙරී (Mariah Carey) සමගවූ විවාහ ගිවිසුමෙන් ද වෙන්විය.

"සමාගමේ වෙනස්වීම් විශාල වශයෙන් පරිපාලනය සම්බන්ධයෙන්වන අතර, එහි ආකෘතිය සරලව සහ වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීම උත්සාහයයි" යනුවෙන් ඔහුගේ පෞද්ගලික සමාගමක්වූ Consolidated Press Holdings (CPH) සිකුරාදා නිකුත් කළ ප්‍රකාශයක සඳහන්වේ.

ජේම්ස් පැකර් මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණපා ඇතැයි ඔහුගේ ප්‍රකාශකයා මාර්තු මාසයේදී නිවේදනය කළේය. මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය සමහර ව්‍යාපාරිකයන්ගේ ප්‍රශංසාව ඔහු වෙත යොමුවීමට හේතු විය.

"මෙයින් පැකර් ව්‍යාපාරවලදී තනි පුද්ගලයෙක් බවට පත්වෙනවා. එසේම නිර්භීත මෙන්ම වැදගත් පුද්ගලයෙක් බවට ද පත්වෙනවා" යනුවෙන් ඕස්ට්‍රේලියානු අර්බුද පිළිබඳ සහාය සේවයේ සභාපති ජෝන් බ්‍රොග්ඩෙන් The Australian Financial Review හි ලියා තිබිණි.

"වෙළෙඳපොළ හෝ ව්‍යාපාරික සගයන් එය කෙසේ තේරුම් ගනීදැයි නොදන්නා නිසා" මානසික සෞඛ්‍ය ගැටලු හෙළි කිරීමට ව්‍යාපාර ලොව ප්‍රමුඛයන් පසුබටවන බව බ්‍රොග්ඩෙන් ප්‍රකාශ කරයි.

Image copyright Getty Images
Image caption සිය පියාගේ ඇවෑමෙන් ජේම්ස් පැකර් ප්‍රමුඛ පෙළේ ධනපතියෙක් විය.

තම පියාවූ ප්‍රමුඛ ධනපතියෙකු මෙන්ම මාධ්‍ය හිමිකරුවෙකු ද වූ කෙරී පැකර් 2005 වසරේ මියයාමත් සමග ජේම්ස් පැකර් ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් අතරට එක්විය. ක්‍රවුන් කැසිනෝ සමාගම පිහිටුවීම සඳහා පරම්පරාවෙන් හිමිවූ මුද්‍රණ සහ ටෙලිවිශන් සමාගම් ඔහු විකුණා දැම්මේය.

පැකර්, ක්වොන්ටස් ගුවන්සේවයද ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පදවි දැරීය.

ඔහු 2015 දී ක්‍රවුන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වූ නමුත් පසුගිය වසරේ නැවත ඊට එක් විය. එය සිදුවූයේ මැකාවු සහ ඇමෙරිකානු ආයෝජන ඉවත්කරමින් සමාගම නැවත ඕස්ට්‍රේලියානු ආයෝජන ඉලක්ක කිරීමෙන් පසුවය.

එය සිදුවුයේ සූදු ව්‍යාපාර නීතිවිරෝධී ලෙස ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත ක්‍රවුන් සමාගමේ සේවකයන් 16 දෙනෙකු චීනයේදී සිරගත කිරීමෙන් අනතුරුවය.

පසුගිය වසරේ ලස් වේගස්හි කැසිනෝ ව්‍යාපාරයට මැදිහත් වීමට ඔහු කළ උත්සාහය අතහැර දැමීමට ද සිදු විය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සුදානම

ජේම්ස් පැකර් ගේ 'ක්‍රවුන් රිසෝර්ට්ස්' සමාගම කොළඹ නගරයේත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එය අවලංගු කළ බව එම සමාගම 2015 වසරේ ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළේය.

සුඛෝපභෝගී කාමර 450 ක් සහිත හෝටලයක් ඇතුළත් සංචාරක කලාපයක් ඉදි කරමින් කොළඹ නගරය කලාපීය 'කැසිනෝ මධ්‍යස්ථානයක්' බවට පත් කෙරෙන එම ව්‍යාපෘතියට මහින්ද රාජපක්ෂ පාලනය විසින් බදු සහන ලබා දී තිබූ බවට එවක වාර්තා පළවිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 29 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, එම ව්‍යාපෘතියට පෙර පැවති රජය දී ඇති බදු සහන සංශෝධනය කරමින් 'ක්‍රවුන් රිසෝර්ට්ස්' කැසිනෝ ව්‍යාපාරය සඳහා දී තිබු අනුමැතිය අවලංගු කළ බව කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර