ලාඕසය: ජල විදුලි බලාගාරයක වේල්ලක් කඩා වැටී විශාල පිරිසකට හානි

Image copyright Reuters

ලාඕසයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවති වේල්ලක් කඩා වැටීමෙන් පිරිසක් මරුමුවට පත්ව ඇති අතර, සිය ගණනක් අතුරුදහන්ව සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි.

Attapeu ප්‍රාන්තයේ පිහිටි ජල විදුලි බලාගාරයක වේල්ල සඳුදා (ජුලි 23) රාත්‍රියේ කඩාවැටීමත් සමග ගම්මාන හයක හදිසි ගංවතුරක් හටගත් බව ලාඕ පුවත් සේවය වාර්තා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් 6,600 කට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි වී තිබේ.

ගංවතුරට කොටු වූ ජනතාව ජලයෙන් යට වූ සිය නිවාසවල වහල මත නැගී සිටින අන්දම සහ බෝට්ටු මගින් ඔවුන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යන ආකාරය ඡායාරූපවල දැක්වේ.

Image copyright Getty Images

"මේ ඛේදවාචකය මගින් ජීවිත කිහිපයක් බිලිගෙන සිය ගණනක් දෙනා අතුරුදහන් කර ඇති," බව ද පුවත් සේවය වාර්තාකර තිබුණි.

කාම්බෝජ සහ වියට්නාම දේශසීමාවේ පිහිටි Attapeu, ලාඕසයේ දකුණු කෙලවරේ පිහිටි ප්‍රාන්තය ය.

කෘෂිකර්මාන්තය සහ ලී පදනම් කරගත් කර්මාන්ත පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන එම ප්‍රාන්තය, ජල විදුලි බලය අපනයනය කරයි.

කොපමණ පිරිසකට බලපා තිබෙන්නේද?

ගංවතුරට යට වූ ප්‍රදේශය සමග දුරකථන සම්බන්ධතා ඇනහිට ඇති බැවින් කොපමණ පිරිසක් මියගියේද සහ කොපමණ පිරිසකට හානි වී තිබෙන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

"කොතරම් පිරිසක් අතුරුදහන්ව සිටින්නේද හෝ කොපමණ පිරිසක් මියගියේද යන්න ගැන තවමත් නිල තොරතුරු නැහැ," යනුවෙන් ප්‍රාදේශීය නිලධාරියෙක් ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබේ.

ආණ්ඩුවේ නිල කටයුතු අත්හිටවූ අගමැති Thongloun Sisoulith, සහන සේවා නිරීක්ෂණය කිරීම පිණිස Sanamxay දිස්ත්‍රික්කය බලා පිටත්ව ගිය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඇඳුම්, ආහාර, පානීය ජලය සහ ඖෂධ ප්‍රදානය කරන මෙන් ප්‍රාදේශීය බලධාරීන් ආණ්ඩුවේ ආයතනවලින් සහ පීඩාවට පත් නොවූ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.