බංග්ලාදේශ විරෝධතා: මිලියන 18 ක් සිටින නගරය අකර්මන්‍ය කිරීමට හදිසි අනතුරකට හැකිවූයේ කෙසේද?

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

ළමයින් දෙදෙනෙකු රිය අනතුරකින් මියයාමත් සමග හටගත් මහජන විරෝධය හමුවේ සතියකට වඩා කාලයක් බංග්ලාදේශය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක නොවීය.

ඉතා ඉහළ තරුණ සහභාගීත්වයකින් යුතු වූ විරෝධතාව, මහා මාර්ගයේ ආරක්ෂාව සලසන මෙන් රජයට බලකරන්නට විය.

මෙම ව්‍යාපාරය, විශාල නැගී සිටීමක් දක්වා වර්ධනය විය. එසේම, මිලියන 18 ක් වාසය කරන ධකා නගරයේ මාර්ගවල ප්‍රචණ්ඩ ක්‍රියා ද මතුවන්නට විය.

පළමු විරෝධතාවට හේතුව

ජුලි 29 වෙනිදා ධකා නගරයේ වේගයෙන් ධාවනයවූ බස් රථයක ගැටීමෙන් පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් මිය ගියහ. ඉදිරියෙන් සිටි මගීන් පටවා ගැනීමට වෙනත් බස් රථයක් ඉස්සර කිරීමට ගත් උත්සාහයේදී, රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකි වීම අනතුරට හේතුව ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA

පසුගිය වසරේ එරට මහා මාර්ග අනතුරු හේතුවෙන් 4,000 ඉක්මවූ පදිකයන් පිරිසක් ඝාතනයට ලක්වූහ.

ඉතා අනතුරුදායක රථ වාහන ධාවනයක් පවතින ධකා නගරයේ සාමාන්‍යයෙන් සිදුවන අනතුරු මෙන්ම මෙම අනතුර ද නොසලකා හරින්නට ඉඩකඩ තිබුණි. නමුත් ඒ වෙනුවට, සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස විරෝධය මතුවූ අතර පසුව ශිෂ්‍ය විරෝධතා මාලාවක් ලෙස එය වර්ධනය විය.

පසුව නගරයේ සියලු කටයුතු අකර්මන්‍ය කරමින් දස දහස් ගණන් ශිෂ්‍යයෝ ධකා නගරයේ මාර්ගවලට විරෝධය පළ කළහ.

ට්‍රක්, බස් සහ කාර් රථ නැවැත්වූ විරෝධතාකරුවෝ, ඒවායේ රියදුරන්ට රියදුරු බලපත්‍ර ඇත්දැයි පරීක්ෂා කිරීමටත්, ඒවා මාර්ගයේ ධාවනය කිරීමට සුදුසුදැයි පරීක්ෂා කිරීමටත් ක්‍රියා කළහ.

"අපට ඕන දූෂණය නතර කරන්න. ඒ වගේම ලොසින්ජර දෙනවා වගේ රියදුරු බලපත් දෙන එක නතර කරන්න" 17 හැවිරිදි ශිෂ්‍යයෙක් බීබීසී සේවයට පැවසීය.

ප්‍රචණ්ඩකාරී වූයේ කෙසේද?

දහස් ගණන් ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් දින ගණනාවක් පුරා පැවැත්වෙන මේ විරෝධතා බංග්ලාදේශයට නුහුරුය. ඒ අතර ශිෂ්‍යයන් නගරයේ කටයුතු ඇනහිටියේය. මේ නිසා නගරයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශ කරා ධාවනය කෙරෙන බස් සේවා අවලංගු කරන්නට විය.

සෙනසුරාදා (අගෝ 04) පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමෙන් සහ රබර් උණ්ඩ යොදා වෙඩි තැබීම හේතුවෙන් ශිෂ්‍යයන් බොහෝ පිරිසක් තුවාල ලැබූ නමුත් අදාළ බලධාරීහු එය මුලින් ප්‍රතික්ෂේප කළහ.

පාලක අවාමි ලීගයට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක් වූ බංග්ලාදේශ චාත්‍ර ලීගයේ (Bangladesh Chhatra League) කණ්ඩායම් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවිය.

මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් සහ විශේෂයෙන් ඔවුන්ගේ දුරකථන සහ කැමරා විනාශ කිරීම සම්බන්ධයෙන් ද චාත්‍ර ලීගයට චෝදනා එල්ලවිණි.

ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර, ඇමෙරිකානු තානාපතිවරිය ගමන් කළ රථ පෙළකට ද සන්නද්ධ පිරිස් ඉරිදා (අගෝ 05) පහරදී තිබේ.

ප්‍රතිචාරය කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA

ශිෂ්‍යයන්ගේ සැලකිල්ල යොමුවූ මාර්ග ආරක්ෂාව ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රජය පොරොන්දුවී තිබේ. කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවූ මාර්ග ප්‍රවාහන පනත අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය සඳුදා (අගෝ 6) පියවර ගත්තේය.

එසේම, විරෝධතාකරුවන් සතුටු කිරීමට, මාර්ගයේ චේතනාන්විතව මරණයට පත් කිරීම් සඳහා මරණීය දණ්ඩනය හඳුන්වාදීමට ද රජය පොරොන්දුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NURPHOTO/GETTY IMAGES

නමුත්, තමන් අපහසුතාවට පත් කළ විරෝධතා වහාම අවසන් කළයුතු බව රජය කියා සිටී.

විරෝධතාකරුවන් සංවිධානය වීම අවහිර කිරීමට සහ ඔවුන්ගේ කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අවහිර කිරීමට රජය 3G - 4G අන්තර්ජාල සේවා ද සෙනසුරාදා සවස සිට අවහිර කර ඇත.

විරෝධතා අවසන් කර නිවෙස්වලට යන ලෙස අග්‍රාමාත්‍ය ෂේක් හසීනා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියාය.

තවත් පුවත්: