පෙප්සි ඉහළ පුටුව දැරූ ඉන්දීය කාන්තාව ඉන්ද්‍රා නූයි තනතුරින් ඉවත්වෙයි

Image copyright Getty Images
Image caption ඉන්ද්‍රා නූයි

දොළොස් වසරක් ලෝප්‍රකට PepsiCo සමාගමේ ප්‍රධාන විධායක ධුරය හෙබවූ ඉන්ද්‍රා නූයි (Indra Nooyi) එම තනතුරින් ඉවත්වීමට සැරසෙයි.

ලොව ප්‍රමුඛ ව්‍යාපාරික නායිකාවන් අතර සිටින ඇය ෆෝබ්ස් සඟරාව පළකළ ලොව බලවත් ම කාන්තාවන් 100 දෙනා අතර සිටියේ, 2017 වසරේ 11 වෙනි ස්ථානය හිමිකරගනිමිනි.

ඇය 2006 වසරේදී පෙප්සිකෝ සමාගමේ ප්‍රධාන විධායක ධුරයේ වැඩ ඇරඹු තැන සිට ගෙවීගිය කාලය තුළදී එම සමාගමේ කොටස් 78% න් ඉහළ නැග ඇත.

62 හැවිරිදි නූයි වසර 24 කාලයක් සමාගමේ සේවය කළ අතර ඇයගේ ඉවත්වීමෙන් අනතුරුව දැනට එහි සභාපතිත්වය දරන රමොන් ලගුආර්ටා (Ramon Laguarta) එම තනතුරේ වගකීම භාරගැනීමට නියමිතය.

ට්විටර් පණිවිඩ ගණනාවක් පළ කරමින් ඉන්දියාවේ තමා ගතකළ ජීවිතය සිහිපත් කළ නූයි, PepsiCo වැනි සමාගමකට නායකත්වය දෙන්නට අවස්ථාවක් තමන්ට උදාවනු ඇතැයි "කිසිදා නොසිතූ" බව කීවාය.

සිය තනතුර හැරයාමේ "මිශ්‍ර හැගීම්" ගැන ද ඇය පැහැදිලි කළාය.

නූයි ගේ කාලය

2006 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන විධායක ධුරයට පත්වීමට පෙර ප්‍රධාන මුල්‍ය නිලධාරී වූ නූයි සමාගමේ සැලකිය යුතු ආදායම් වර්ධනය අධීක්ෂණය කළා ය.

"කෙටි කාලීන පමණක් නොව, දිගු කාලීන වැඩපිළිවෙලක් කෙරෙහි සිය දෑස හසුරුවා ගනිමින් ඇය සවිමත් වගේම අඛණ්ඩ මුල්‍ය ක්‍රියාකාරීත්වයක් පවත්වාගත්තා. අපේ සීමා අතික්‍රමණය කරමින් ආදායම 80% න් වර්ධනය කරන්නටත්, සෑම වසර දෙකකට වරක් ම ඩොලර් බිලියන ගණනක අලුත් සන්නාම එකතු කරන්නටත් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇයට හැකිවුණා," යැයි PepsiCo සමාගම නිකුත් කළ නිවේදනයක දැක්විණි.

එම සමාගම සඳහන් කළ පරිදි එහි මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 54 හැවිරිදි ලගුආර්ටා වෙත අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික කැමැත්ත හිමිවූ අතර ඔහු ඔක්තෝබර් 3 වෙනිදා වැඩ ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට නියමිතය.

PepsiCo සමාගමේ වසර 22 ක සේවයක් ඇති ලගුආර්ටා එහි සභාපති ලෙස ගෝලීය මෙහෙයුම්, ආයතනික ක්‍රමෝපාය, පොදු ප්‍රතිපත්ති හා ආණ්ඩු පිළිබඳ කටයුතු අධීක්ෂණය කළේය.

ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්ව යන ඉන්ද්‍රා නූයි 2019 වසරේ මුල දක්වා සමාගමේ සභාපතිත්වය දරනු ඇත.