ඉන්දුනීසියාවේ ලොම්බොක් භූ චලනය: ගලවා ගැනීමේ මෙහෙයුම් අතරේ තවත් බලවත් කම්පනයක්

Image copyright Getty Images

ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් ලොම්බොක් දිවයිනේ ඉරිදා ඇතිවූ භූ කම්පනයෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් අතර තවත් බලවත් කම්පනයක් සිදුවී තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මැග්නිටියුඩ් 5.9 ක් ලෙස මෙම කම්පනය සටහන්වී ඇති අතර, ඒ හේතුවෙන් ගොඩනැගිළි කීපයක් ද කඩා වැටී ඇති බව වාර්තාවේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් ඉරිදා සිදුවූ විශාල භූ කම්පනයෙන් විපතට පත්ව සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා කැණීම් සිදුකරමින් සිටිති.

රතු කුරුස සංවිධානයට අනුව "විනාශකාරී ලෙස සැළකියහැකි" එම භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 131 ක් මියගොස් තිබේ.

සමහර ගම්මාන "මුළුමනින්ම කඩාවැටී ඇති බව" ලොම්බොක්හි සිටින රතු කුරුස සංවිධානයේ ක්‍රිස්ටොපර් රසි (Christopher Rassi) පැවසීය.

ඉරිදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 131 ක් ලෙස නිල වාර්තාවල සඳහන්වන නමුත්, එරට මාධ්‍ය වාර්තා කරන අන්දමට එය 347 ක් පමණ වේ.

පුද්ගලයන් 1,400 ක් ඉක්මවා තුවාල ලබා ඇති බවත් 156,000 ක් පමණ පිරිසක් අවතැන්වී ඇති බවත් රජය පවසයි.

ජාතික ආපදා මධ්‍යස්ථානයට අනුව, වඩාත් තොරතුරු ලැබීම සමග සහ අනතුරට පත්වූ තවත් පුද්ගලයන් හමුවීමත් සමග ඉහත සංඛ්‍යා ඉහළයාමේ හැකියාවක් ඇත.

අලුතෙන් ඇතිවූ භූ කම්පනය දිවයිනේ වයඹ දිග වෙරළ ආසන්නයේ සිදුවූ අතර, ඒ හේතුවෙන් කලබලවූ පිරිස් නගරයේ මාවත් දිගේ දුවන්නට වූහ.

මැග්නිටියුඩ් 6.2 ක් ලෙස ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කරන මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත.

නමුත්, ඉරිදා ඇතිවූ විශාල භූ චලනයෙන් අනතුරුව සිදුවූ කම්පන මාලාවේ බලවත්ම කම්පනය මෙය බව සැළකේ.

හදිසි ආපදා සේවකයෝ ක්‍රමයෙන් ලොම්බොක්හි දුෂ්කර ප්‍රදේශවලට ලඟා වෙමින් තම ගලවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියට කරගෙන යති.

කෙසේ වුවත් උතුරු පළාතේ ඇති සමහර ප්‍රදේශවලට තවමත් කිසිදු ආධාරයක් ලැබී නොමැති බව ඉන්දුනීසියානු ජාතික ආපදා කාර්යාංශයේ සුටොපො පුර්වෝ (Sutopo Purwo) පැවසීය.

කුඩා ජන සමූහයන් ලෙස ඉතා සරළ නිවාසවල ජීවත් වූ දූපත්වාසීන් අතර දස දහස් සංඛ්‍යාත පිරිස් දැන් එළිමහනේ හෝ සුන් බුන් වූ තම නිවාස තුළ නිදා ගනිති.

Image copyright Reuters

දළ වශයෙන් වර්ග කිලෝමීටර 4,500 ක ප්‍රමාණයෙන් යුත් ලොම්බොක් බාලි දුපතට වඩා මදක් විශාලවන අතර බාලි දිවයිනේ සිට බටහිරට වන්නට පිහිටා ඇත.

ලොම්බොක් ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංචාරක මධ්‍යස්ථානයකි.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර