ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ළමා ලිංගික අපයෝජන හා කතෝලික සභාවේ ආවරණය හෙළා දකිති

Image copyright Reuters

ලොව පුරා බිලියන 1.2ක රෝමානු කතෝලික ප්‍රජාව අමතමින් ලිපියක් යොමුකළ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ළමා ලිංගික අපයෝජන පිළිබඳ "කෘරත්වය" මෙන්ම පුජකයින් විසින් ඒවා ආවරණය කරනු ලැබීමත් හෙළා දුටුහ.

"දෙවියන්ගේ ජනයා" වෙත යනුවෙන් ලිපිය යොමු කළ උන්වහන්සේ, සභාව තුළ ඇති "මරණයේ සංස්කෘතිය" අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්, අපයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත්වීම ගැන අවධානය යොමු කළ අතර සමාව ඉල්ලා සිටියහ.

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය තුළ දශක හතක පුරා සිදුවූ අපයෝජන පිළිබඳ පසුගිය සතියේ එළිදුටු ප්‍රමුඛ ජූරි වාර්තාවකින් පෙන්වා දෙනු ලැබීය.

ප්‍රාන්තයේ 300ක් පමණ පුජකයින් අතින් හඳුනාගත හැකි බාලවයස්කරුවන් 1,000 ට වැඩි පිරිසක් අපයෝජනයට ලක්ව ඇති බව එම විමර්ශනයේදී සොයාගෙන ඇත.

තවත් දහස් ගණනක් එහි ගොදුරු බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කතෝලික සභාව විසින් එම සිදුවීම් ඉතා ක්‍රමානුකුලව යටපත් කර ඇති බව දැක්වෙන සාක්ෂි එම විමර්ශනයේදී හෙළිවී ඇති අතර ඉන් බොහොමයක් චෝදනා ගොනු කිරීමට අසීරු තරම් පැරණිය.

වාර්තාව නිකුත්වීමෙන් අනතුරුව වතිකානය පැවසුවේ, "විලෝපික" පූජකයින්ට එරෙහිව පාප්වහන්සේ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින බවය.

පාප්වහන්සේ කීවේ කුමක්ද?

ලිංගික අපයෝජන මාතෘකාව සම්බන්ධයෙන් පාප්වහන්සේ නමක් සමස්ත කතෝලික ජනතාව ලිපියකින් ඇමතු ප්‍රථම අවස්ථාව මෙය බව වතිකානය පැවසීය.

ඇමෙරිකාවේ මෙම සිදුවීම් මෙන්ම ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකිරීමට කතෝලික සභාව අපොහොසත්වීම කෙරෙහි, සඳුදා නිකුත් කළ වචන 2,000 ක ලිපියෙන් ඔහු ඍජුවම අවධානය යොමු කර තිබිණි.

"විශාල ජීවිත ප්‍රමාණයකට වූ හානියේ ප්‍රබල බව හා බරපතල බව තේරුම් ගෙනත්, නියම කාලයේදී ඒ ගැන ක්‍රියාකිරීමට අපොහොසත් වීමෙන් සමයානුකූල ප්‍රජාවක් ලෙස අප නොසිටිය යුතු තත්ත්වයක සිටීම ලැජ්ජාවෙන් හා සන්තාපයෙන් යුතුව අප පිළිගන්නවා." යනුවෙන් උන්වහන්සේ සඳහන් කරති.

"කුඩා දරුවන් ගැන අප නොතකන බව අප පෙන්වූවා; ඔවුන්ව අතහැර දැමුවා"

"වඩාත්ම අවදානම් සහගතවුවන් ගැන අවධානය යොමු කිරීමේ හා උපකාර කිරීමේ මෙහෙවර පැවරී ඇති වරම් ඇති පුද්ගලයින්, පූජකයින් ඇතුළු සියලු දෙනා විසින් කරන ලද කෘර ක්‍රියා සංවේගයෙන් මෙන්ම ලජ්ජාවෙන් යුතුව පිළිගැනීම හා හෙළාදැකීම, සභාවක් ලෙස අප ඉටු කිරීම අත්‍යවශ්‍යයි. අපේ පව් සේම අන්‍යයන්ගේ පව් සම්බන්ධයෙන් සමාව යදිමු." යැයි ද පාප්වහන්සේ සිය ලිපියෙහි සඳහන් කර ඇත.

මෑත සිදුවීම් මොනවාද?

අයර්ලන්තයේ පැවැත්වීමට නියමිත කතෝලික සභාවේ ලෝක පවුල් හමුවට සහභාගීවීමට යාමට දින කිහිපයකට පෙර පාප්වහන්සේගේ ලිපිය නිකුත් කෙරිණි.

උන්වහන්සේ ඩබ්ලින් වෙත පැමිණි පසු පූජකයින් අතින් ලිංගික අපයෝජනයට ලක්වුවන් මුණගැසෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අයර්ලන්ත රෝමානු කතෝලික සභාවේ ප්‍රධානී ඊමොන් මාර්ටින් අගරදගුරුහිමියෝ පැවසූහ.

ළමා ලිංගික අපයෝජන පිළිබඳ තත්ත්වය ලොව පුරා කතෝලික සභාව පටලැවිල්ලකට පත්කොට ඇත.

අපොයෝජන පිළිබඳ චෝදනාවලට ලක්වූ ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර අගරදගුරු තියොඩෝර් මැක්කැරික් සිය පදවියෙන් ඉවත්විණි.

වසර 50 ට පෙරාතුව නව යොවුන් තරුණයෙකු ඔහු විසින් ලිංගිකව අපයෝජනයට ලක්කළ බවට පිළිගත හැකි චෝදනා ඇති බව ඇමෙරිකානු කතෝලික සභාවේ නිලධාරීහු පැවසූහ. එහෙත් චුදිත අගරදගුරු පැවසුවේ ඒ පිළිබඳ මතකයක් නැති බවය.

මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ වඩා ජ්‍යෙෂ්ඨතම කතෝලිකයා වූයේ අගරදගුරු ෆිලිප් විල්සන් ය. පසුගිය මැයි මාසයේදී ඔහුට චෝදනා එල්ල වූයේ 1970 වසරවලදී ඔස්ට්‍රේලියාවේදී සිදුවූ ළමා ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්