"ව්‍යාජ" විවාහ උත්සවවලදී නාඳුනන පුද්ගලයන් සමඟ විවාහ වන හොංකොං කාන්තාවෝ

Bogus marriages Hong Kong Image copyright ISTOCK

හොංකොංහි ජීවත් වන 21 හැවිදිරි කාන්තාවකට "ව්‍යාජ" විවාහ උත්සවයකට සහභාගී වීමට සැලැස්වීමෙන් ඇය රවටා නාඳුනන තැනැත්තෙකුට විවාහ කර දී තිබේ.

විවාහ උත්සව සැලසුම් කිරීම සඳහා පැවැත්වෙන පුහුණුවීම්වල එක් කොටසක් ලෙස මනමාලියක් ලෙස සැරසී ප්‍රධාන භූමියේ (චීනයේ) පැවැත්වෙන ව්‍යාජ විවාහ උත්සවයකට සහභාගී විය යුතු යැයි මෙම කාන්තාවට පවසා ඇත.

මෙම උත්සවය අතරතුර ඇය සහ පුරුෂයා අත්සන් කර ඇත්තේ සැබෑ විවාහ සහතිකයකි.

තමන් සැබෑ ලෙස විවාහ වී ඇති බව ඇයට වැටහී ඇත්තේ නැවත හොංකොං වෙත පැමිණි පසුය. මේ සම්බන්ධයෙන් ඇය නීතියේ පිහිට පැතුවාය.

අපරාධයක් සිදුව ඇති බවට සාක්ෂි නොමැති හෙයින් සිද්ධිය වූ ප්‍රදේශයේ පොලිසියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි විය. මේ නිසා ඇය හොංකොං වෘත්තීය සමිති එකමුතුවට මේ ගැන දැනුම් දීමට කටයුතු කළාය.

"මෙය තමයි අලුත්ම ආකාරයේ විවාහ වංචාව" යැයි වෘත්තීය සමිති එකමුතුවේ අයිතීන් සහ ප්‍රතිලාභ කමිටුවේ අධ්‍යක්ෂ Tong Kamgyiu පැවසීය.

"මම ඇත්තටම කණගාටු වෙනවා වගේම නූතන හොංකොං නගරයේත් මේ වගේ දේවල් වෙනවා කියන එක ගැන විශ්වාස කරන්නත් බැහැ."

'අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා'

නම හෙළි කිරීමට අකමැති වූ 21 හැවිදිරි කාන්තාවක් පසුගිය මැයි මස රූපලාවණ්‍ය ශිල්පීන්ට පුහුණු අවස්ථා ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ දැන්වීමක් දැක තිබේ.

Image copyright Getty Images

නමුත්, මේ සඳහා අයැදුම් කිරීමෙන් පසු රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස නොව මංගල උත්සව සැලසුම් කරන්නෙකු ලෙස ක්‍රියා කිරීමට එම ආයතනය ඇයව පොලඹවා ඇත.

මේ තොරතුරුද කියවන්න:

සතියක් පුරා හොංකොං නගරයේ පැවැත්වූ පුහුණුවීම්වලට සහභාගී වීමෙන් පසුව, එම පාඨමාලාව සමත් වීමට නම් ව්‍යාජ විවාහ උත්සවයකට සහභාගී විය යුතු බව ඇයට පවසා තිබේ.

ජූලි මස, රජයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක දී ඇය විවාහ සහතිකයකට අත්සන් තැබීය. මෙම විවාහය පසුව "අවලංගු" වන බව අදාළ ආයතනය ඇයට පවසා ඇතැයි 'සවුත් චයිනා මෝනිං පෝස්ට් (South China Morning Post)' පුවත්පත වාර්තා කර තිබිණි.

නමුත් හොංකොං වෙත පෙරළා පැමිණි පසු එම විවාහය වංචාවක් බව මිතුරියක් ඇයට පැහැදිලි කර ඇත.

ඇය තවමත් විවාහ වී සිටින අතර, දික්කසාද වීමට අවශ්‍ය පියවර අනුගමනය කළ යුතුය. ඇය විවාහ වූ පුද්ගලයාගේ තොරතුරු හෝ ඔහු විවාහයෙන් පසු හොංකොං නගරයට ඇතුළු වූයේ දැයි පැහැදිලි නැත.

"තමන් මුහුණ දුන් අවස්ථාව ගැන කිසිවක් නොදන්නා 21 හැවිදිරි කාන්තාවගෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ලබා ගෙන තිබෙනවා" යැයි Tong Kamgyiu පැවසීය.

"ඇයට වන විශාලතම හානිය තමයි විවාහ වී ඇති බව වාර්තා අතරට එක් වීම සහ එයින් ඇතිවන මානසික බලපෑම."

හොංකොං තුළට ඇතුළු වීමට අවසර ලබා ගැනීම සඳහා වසරකට විවාහ වංචා 1000ක් පමණ සිදුවන බව පොලිස් වාර්තා අනුව පෙනී යයි.

චීන වැසියෙකු හොංකොංහි සිටින පුද්ගලයෙකු සමග විවාහ වූ පසු ඔහුට හෝ ඇයට එම නගරයේ ජීවත් වීමට අවසර ලැබේ.

තවත් තොරතුරු: