'තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මය' වෙනුවෙන් ජීවිතය අවදානමේ හෙළිය යුතුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ක්‍රමය" (Brazilian butt lift -BBL) ලෙස හඳුන්වන රූපලාවණ්‍ය ශල්‍යකර්මයක් සඳහා තුර්කියට ගිය තිදරු මවක් එම ශල්‍යකර්මය අතරතුර මියගිය සිද්ධියක් පසුගියදා වාර්තා විය. කෙසේනමුත්, මෙම ශල්‍යකර්මය දිනෙන් දින ජනප්‍රිය වන්නේ ඇයි?
මෙම ලිපියෙන් දැක්වෙන්නේ ලොව පුරා ජනප්‍රියව ඇති එමෙන්ම මතභේදයකට ලක්වූ තට්ටම් විශාල කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ පෞද්ගලික අත්දැකීම්, එයින් අත්විය හැකි ප්‍රතිඵල සහ එම ක්‍රියාවලිය පිළිබඳ ය.
බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ලියා කේම්බ්‍රිජ් මෙම ශල්‍යකර්මය කිරීම සඳහා තුර්කියේ 'ඉස්මීර්' නගරයේ පිහිටි සායනයකට ගොස් ඇති අතර, නිර්වින්දක ඖෂධ මගින් සිහි නැති කර තිබෙන අවස්ථාවේ හෘදයාබාධ තුනක් වැළඳුණු බව ඇයගේ සහකරු වන ස්කොට් ෆ්‍රෑන්ක්ස් The Sun (ද සන්) පුවත්පතට පවසා තිබිණි.
ඡායාරූප මූලාශ්‍රය, SCOTT FRANKS
නිර්වින්දක ඖෂධ මගින් සිහි නැති කර තිබෙන අවස්ථාවේ ලියා කේම්බ්‍රිජ්ට හෘදයාබාධ තුනක් වැළඳී තිබේ
තට්ටම් විශාල කිරීමේ මෙම ශල්‍යකර්මයේ දී ඇගේ උදරයේ පැවති මේදය ඉන් ඉවත් කොට පසු පෙදෙසට එන්නත් කර තිබේ.
වඩාත් අඩු මුදලකට මෙම ශල්‍යකර්මය කරගැනීම සඳහා පිටරටක සායනයකට යෑමට පියවර ගත්තාය. 29 හැවිදිරි රූපලාවණ්‍ය ශිල්පිනියක් වූ ලියා කේම්බ්‍රිජ් දරුවන් ලැබීමෙන් පසු සිය උදරය විශාල වීම ගැන මහත් කනස්සල්ලෙන් පසු වූ බව ඇයගේ සහකරු ස්කොට් ෆ්‍රෑන්ක්ස් පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනප්‍රිය කිම් කාඩේෂියන්ගේ ශරීරාංග අනුගමනය කිරීමට ලොව පුරා බොහෝ කාන්තාවෝ පෙළඹෙති
මේ තොරතුරුද දැනගන්න:
ලියාගෙ අසල්වැසියන් ඇයව හඳුන්වා ඇත්තේ "ඉතා ලස්සන" කාන්තාවක් ලෙසය. සිය සහකරුගේ කැමැත්ත නොසලකා හරිමින් ලියා මෙම සැත්කම සඳහා පිටත් වූ බව ඔවුහු විශ්වාස කරති.
කෙසේවෙතත්, තට්ටම් විශාල කිරීමේ රූපලාවණ්‍ය ශල්‍යකර්මයකදී මිය ගිය එකම කාන්තාව ලියා නොවේ.
ලන්ඩනයේ ජීවත් වූ 24 හැවිදිරි ජෝයි විලියම්ස් 2014 වසරේ තායිලන්තයේ දී තට්ටම් විශාල කර ගැනීමේ ශල්‍යකර්මයක් අතරතුර මිය ගියාය.
ඉන් වසර කීපයකට පෙර විසි හැවිරිදි Claudia Aderotimi එක්සත් ජනපදයේ පිහිටි හෝටලයක් තුළ දී එවැනි ක්‍රියාවලියක් අතරතුර මිය ගියාය.
කෙසේනමුත්, තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ක්‍රමය වෙනත් විවිධාකාරයේ රූපලාවණ්‍ය ශල්‍යකර්ම තරම් භයානක නැති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය බ්‍රයන් මායූ පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය, SCOTT FRANKS/FACEBOOK
සිය සහකාරියගේ මරණයෙන් ශෝකයට පත්වී සිටින ස්කොට් ෆ්‍රෑන්ක්ස්, රූපලාවණ්‍ය ශල්‍යකර්ම සිදුකරගැනීමට පෙර එහි ඇති අවදානම ගැන සිතන ලෙස අන් අයට අනතුරු අඟවා සිටී.
"මෙහි භයානකකම තිබෙන්නේ නුසුදුසු වටපිටාවක දී සුදුසුකම් නොලත් ශල්‍ය වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්ම කරනු ලැබීම මෙන්ම ශල්‍යකර්මයෙන් පසු අවශ්‍ය සත්කාර නොකිරීම" යැයි වෛද්‍ය බ්‍රයන් මායූ සඳහන් කළේය.
"මාංශපේශීවල ගැඹුරට සහ තට්ටම්වල පහළ කොටසට මේදය එන්නත් කිරීමේදී, වැරදීමකින් එය ප්‍රධාන නහරයකට වැදීමේ අවදානමක් තිබෙනවා."
"මේදය කැටියක් ලෙස රුධිර සංසරණ පද්ධතියට එකතු වී, පෙනහළුවලට යෑමෙන් මරණය සිදු වෙන්න පුළුවන්," ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
"ලියාට නිර්වින්දක දී තිබුණා. සංකූලතා ඇති වෙන්න පටන් ගත්තේ එන්නත් කළ මේදය ඇයගේ රුධිර සංසරණ පද්ධතියට එකතු වීමෙන් පසු ඔක්සිජන් මට්ටම පහත වැටීමෙන්" යැයි තිස් එක් හැවිදිරි ස්කොට් ෆ්‍රෑන්ක්ස් The Sun පුවත්පතට පැවසීය.
"ඇයව නැවතත් යථා තත්වයට පත් කළා. නමුත් ඒත් සමගම ඇයට හෘදයාබාධ තුනක් හැදුණා. ඊට පස්සේ ඒ අයට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ."
විසි හැවිදිරි ක්ලෝඩියා අඩිරෝටිමි එක්සත් ජනපදයේ පිහිටි හෝටලයක් තුළ දී තට්ටම් විශාල කර ගැනීමේ ක්‍රියාවලියක් අතරතුර මිය ගියාය
තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මය ගැන නිරීක්ෂණය කර වාර්තා ඉදිරිපත් කිරීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංගම් විසින් දැන් කාර්ය සාධන බලකායක් සකස් කර ඇති බව වෛද්‍ය බ්‍රයන් මායූ සඳහන් කළේය.
මෙම ශල්‍යකර්මය නිසා 3000 න් එක් අයෙකු මරණයට පත් වන බව සොයා ගෙන ඇත. මෙතෙක් සිදු වූ සියලු මරණවලදී තට්ටම් මාංශපේශීයෙන් මේදය කැටි සොයාගෙන ඇතැයි ඔහු කීය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තමන් තට්ටම් විශාල කිරීමේ ශල්‍යකර්මය සිදු කරගෙන ඇති බව කයිලි ජෙනර් ප්‍රතික්ෂේප කරයි.
පසුගිය වසර හතර තුළ ලන්ඩන් හි පිහිටි වෛද්‍ය බ්‍රයන් මායූ ගේ සායනයට තට්ටම් විශාල කරගැනීමේ ශල්‍යකර්මය සඳහා පැමිණෙන පිරිසේ වැඩි වීමක් නිරීක්ෂණය කළ බව ඔහු පැවසුවේය.
"මෙය මෑතක ඉඳන් දකින්න තියෙන පිස්සුවක්. මීට වසර ගණනාවකට පෙර හැමෝටම ඕනෙ වුණේ ශරීරය කුඩා කරගන්න. ඒ අය ඇවිත් 'මගේ මාංශපේශීවල මේදය ඉවත් කරගෙන තට්ටම් කුඩා කරගන්න පුළුවන් ද කියලයි' අපෙන් ඇහුවේ," වෛද්‍යවරයා විස්තර කළේය.
කෙසේවෙතත්, මෙම සැත්කමේ තාක්ෂණය අනුව, "පුම්බා ඇති තට්ටම්" විලාසිතාව නැති වී ගිය විට ඉහත කිවූ ආකාරයෙන් මාංශපේශීවලින් මේදය ඉවත් කිරීමෙන් නැවතත් සාමාන්‍ය තත්වයට පත් වීමට තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මය සිදුකරගත් රෝගීන්ට හැකිවන බව ඔහු පැවසීය.
විශාල තට්ටම් හිමි කරගන්න මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයි? ජනප්‍රිය චරිතවල ශරීර ලක්ෂණ අනුගමනය කිරීම මෙයට හේතුව බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
"අපි ජීවත් වන ලෝකයේ විවිධ ජාතීන් ඉන්නවා. ඒ අය අගය කරන්නේ විවිධ ශරීර හැඩයන්. නමුත් දැන් තිබෙන තාක්ෂණයත් සමග මේ විවිධ හැඩ ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්."
සමාජ ජාල ඔස්සේ විශාල අනුගාමිකයන් පිරිසක් සිටින අති ජනප්‍රිය චරිත වන කිම් කාඩේෂියන්, කයිලි ජෙනර් සහ කාඩි බී (Cardi B) ඔවුන්ගේ ශරීරාංග කැපී පෙනෙන ඡායාරූප නිතරම පළ කරයි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රසිද්ධ ගායිකාවක් වන කාඩි බී (Cardi B) සිය පසු පෙදෙස විශාල කරගැනීම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නීය.
මෙසේ පළ කරන ලද එක් වීඩියෝවක කයිලි ජෙනර් පවසන්නේ ඇයගේ සිරුර මහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාණයෙන් විශාල ශරීරාංග හිමි වී ඇති බවය.
"මම තට්ටම් විශාල කරගැනීමේ ක්‍රම භාවිත කරලා නැහැ. ඔබ දන්නවාද? ඉස්සර මගේ ශරීරයේ බර රාත්තල් 120 (54.4Kg) ක්. මම ගොඩාක් කෙට්ටුයි. නමුත් මම දැන් රාත්තල් 136ක් (61.6Kg) බරයි. ඒකට කමක් නැහැ. මම මේ මහතට කැමතියි," ඇය සඳහන් කර තිබිණි.
නමුත් කාඩි බී සඳහන් කර ඇත්තේ, සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නිව්යෝක් නගරයේ ගොඩනැගිල්ලක භූගත මහලක පිහිටි ස්ථානයක දී ඇයගේ පසු ප්‍රදේශය විශාල කර ගැනීම සඳහා සිලිකන් එන්නත් කරගත් බවය. නමුත් පසුව දින පහක් පුරා සිලිකන් කාන්දු වීමට පටන්ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
තමන් සමග රැකියාව කළ අනෙක් සමාජ ශාලා නර්තන ශිල්පිනියට විශාල තට්ටම් හිමි වීම නිසා, ඇය වැඩි මුදලක් උපයනු දැකීමෙන් කාඩි බී ද ඩොලර් 800ක් වියදම් කර මෙම එන්න කරගත් ගත් බව GQ සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළාය.
ක්ලෝ සිම්ස් (Chloe Simms) නම් බ්‍රිතාන්‍ය නිළිය ද තට්ටම් විශාල කරගැනීමේ ශල්‍යකර්මය සිදු කර ගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නීය. පෙර තිබූ ශරීරය නිසා ඇයට එල්ල වූ අපහාස මෙම ශල්‍යකර්මය සිදු කර ගැනීමට හේතු වූ බව ඇය පැවසුවාය.
2013 ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූපවල ඇයට සිහින් සිරුරක් හිමි වී තිබූ බව දක්නට ලැබේ.
නමුත් 2018 ජූලි මස ඇය ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ ඡායාරූපවල ප්‍රමාණයෙන් මහත් වූ ශරීරාංග දැකිය හැකිය.
ශරීරයේ ස්ථාන දෙකක මාංශපේශී එකවර සකස් කරගත හැකි නිසා තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මයට බොහෝ කාන්තාවන් කැමැත්තක් දක්වන බව වෛද්‍ය බ්‍රයන් මායූ පැවසීය.
"බොහෝ පුද්ගලයන්ට මේ ශල්‍යකර්මයෙන් වාසි දෙකක් අත්වෙනවා. ඒ අයට අනවශ්‍ය ස්ථානයක මේදය ඉවත් කර අවශ්‍ය ස්ථානයක රැඳවිය හැකි වෙනවා," ඔහු පැහැදිලි කළේය.
තට්ටම් විශාල කර ගැනීමේ ශල්‍යකර්මයේදී සිදුවන්නේ කුමක්ද?
- මෙම ක්‍රියාවලිය තුළින් තට්ටම් විශාල කර රවුම් හැඩයක් ලබා දෙන අතර, එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා එසවුණු ස්වභාවයක් පෙනෙන සේ සකසයි.
- සිලිකන්වලින් තැනූ ද්‍රව්‍යයක් තට්ටම් තුළ රැඳවීම හෝ ශරීරයේ වෙනත් කොටසක ඇති මේදය එන්නත් මාර්ගයෙන් තට්ටම්වලට මාරු කිරීම මෙහිදී ශල්‍යවෛද්‍යවරුන් සිදු කරනු ලබයි.
- මෙම ශල්‍යකර්මයෙන් පසු සති කීපයක් ගතවෙන තුරු වේදනාවක් දැනෙන අතර, ඒ අවට තැල්මක් සහ යම් අපහසුතාවක් ඇති වීමට ඉඩ ඇත. සති තුනක් ගතවන තුරු තට්ටම් වැදෙන සේ අසුන් ගැනීම නොකළ යුතුය.
- ශල්‍යකර්මයේ නිසා ඇතිවන තුවාලයට විෂබීජ ඇතුළු වීමෙන්, මාංශපේශී විශාල කිරීමට බද්ධ කරන සිලිකන් කොටස් පුපුරා යෑමෙන් හෝ එන්නත් කරන මේදය රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වී රුධිර නාලිකා අවහිර වීමෙන් සංකූලතා ඇති වීමට ඉඩ තිබේ.
තවත් තොරතුරු:
(බීබීසී නිව්ස් ඔන්ලයින් හි ජෙනිෆර් මියර්හාන්ස් සකස් කළ වාර්තාවක් ඇසුරිණි.)