රුසියාව: සීතල යුද්ධයෙන් පසු දැවැන්තම හමුදා අභ්‍යාසයට චීනයත් එක් වේ

Image copyright Russian Defence Ministry

හමුදා භටයන් ලක්ෂ තුනක් නැගෙනහිර සයිබීරියාවට කැඳවා, රුසියාව සීතල යුද්ධයෙන් (නිරවි යුද්ධයෙන්) අනතුරුව සිය විශාලතම හමුදා අභ්‍යාසය දියත් කළේය.

"වස්තොක් 2018" හමුදා අභ්‍යාස වෙනුවෙන් චීනය විසින් හමුදා භටයන් 3200 ක්, හමුදා ප්‍රහාරක යානා සහ සන්නද්ධ රථ පිටත් කරනු ලැබීම ද විශේෂත්වයකි.

මොංගෝලියාව ද එම හමුදා සරඹවලට සහභාගි වේ.

Image copyright AFP

රුසියාව අවසන් වරට මේ ආකාරයේ හමුදා සරඹ අභ්‍යාසයක් පැවැත්වූයේ 1981 දීය. එහෙත් එයට වඩා වැඩි හමුදා භටයන් පිරිසක් "වස්තොක් 2018" අභ්‍යාසයට එක් වී සිටිති.

සතියක් පුරා රුසියාවේ මේ දැවැන්ත හමුදා අභ්‍යාසය පැවැත්වෙන්නේ රුසියාව සහ නේටෝ සංවිධානය අතර උණුසුම ඉහළ යමින් පවතින අවස්ථාවක ය.

හමුදා අභ්‍යාස පැවැත්වෙන අතරවාරයේ නැගෙනහිර සයිබීරියාවේ ව්ලදිවස්තොක් නගරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් මුණගැසුණු රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, "ආරක්ෂාව සහ දේශපාලන ක්ෂේත්‍රයේ අප අතර විශ්වසනීය සම්බන්ධයක් පවතින" බව කියා සිටියේය.

මේ අතර රුසියාව විසින් 2014 දී එතෙක් යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියාව ආඳාගැනීමෙන් අනතුරුව රටවල් 29න් සමන්විත නේටෝව සහ රුසියාව අතර සම්බන්ධතා බිඳ වැටී තිබේ.

රුසියාව කෙරෙහි එල්ලවෙමින් පවතින "කුපිතකරවනසුලු සහ මිත්‍රශීලී නොවන" ආකල්ප හේතුවෙන් මෙවැනි යුද අභ්‍යාස පැවැත්විය යුතුව ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොෆ් (Dmitry Peskov) පැවසීය.

යුද ටැංකි, සන්නද්ධ රථ සහ සන්නද්ධ හමුදා ප්‍රවාහක රථ 36,000 ක් මෙම අභ්‍යාසය සඳහා යොදාගනු ලබන බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

යුද හමුදා පුහුණු කඳවුරු පහක්, ගුවන් හමුදා කඳවුරු හතරක් සහ ජපන් මුහුද, බෙරින් සමුද්‍ර සන්ධිය සහ ඔකොත්ස්ක් මුහුද (Sea of Okhotsk) මෙම අභ්‍යාසය සඳහා යොදා ගැනෙන අතර රුසියානු නාවික හමුදා සේනාංක දෙකකට අයත් යාත්‍රා 80 ක් ද එයට සහභාගී වේ.

Image copyright Getty Images

කෙසේ වුවත් මතභේදයට ලක් වී තිබෙන, ජපානයට උතුරින් පිහිටි කුරිල් දූපත් ඒ සඳහා යොදා නොගන්නා බව ද රුසියාව පවසයි.

චීනයේ සහභාගිත්වය

"ආරක්ෂාව සම්බන්ධ විවිධ ආකාරයේ තර්ජනවලට" එකමුතුව මුහුණදීම පිණිස දෙරට අතර මිලිටරි සම්බන්ධතා තරකිරීමේ අවශ්‍යතාව ගැන චීන ආරක්ෂක ආමාත්‍යාංශය අදහස් දක්වා තිබුණි.

එහෙත් එම තර්ජන කවරේ දැයි චීනය හෙළිදරව් කර නැත.

හමුදා අභ්‍යාසවලට තමන් සම්බන්ධ වන්නේ මන්දැයි මොංගෝලියාව කිසිවක් සඳහන් කොට නැත.

කෙසේ වුවත් මධ්‍යම ආසියානු කළාපයේ ඉස්ලාමීය අන්තවාදීන් රුසියාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සෙර්ගේයි ෂෝයිගු (Sergei Shoigu) පවසා තිබුණි.

තවත් කියවන්න: