ලෝකය පුරා 'පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්'

Cancer - rising around the world Image copyright Science Photo Library

ලොව පුරා අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් මිලියන 18.1ක් සිටින අතර, ඉන් මිලියන 9.6ක් මෙම වසර තුළ මිය යනු ඇතැයි වාර්තාවක් නිකුත් වී තිබේ.

2012 වර්ෂයේදී පිළිකා රෝගීන් මිලියන 14.1ක් වාර්තා වූ අතර, මිලියන 8.2ක් මියගොස් තිබේ. නමුත් වර්තමානයේ දී මෙම රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබේ. ලෝක ජනගහන වර්ධනය සහ වැඩිහිටි ප්‍රජාව වැඩිවීම මෙයට එක් හේතුවක් ලෙස දක්වා ඇත.

දත්ත අනුව, සෑම පුරුෂයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සහ කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට සිය ජීවිත කාලය තුළ මෙම රෝගයට මුහුණ දීමට සිදු වේ.

දිළිඳු රටවල් සමග සංසන්දනය කිරීමේදී ධනවත් රටවලින් පිළිකා රෝගීන් වැඩි පිරිසක් වාර්තා වේ. ඔවුන්ගේ ජීවන රටාව මෙයට හේතුවක් ලෙස දක්වා තිබේ.

පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානය (IARC) රටවල් 185ක විවිධ පිළිකා වර්ග 36ක් ගැන නිරන්තරයෙන් සිය අවධානය යොමු කරමින් එහි ඇති බරපතල තත්ත්වය ගැන වාර්තා ඉදිරිපත් කරයි.

පිළිකා පිළිබඳ දත්ත එකතු කිරීම පසුගිය වසර කීපය තුළ වර්ධනය වී ඇති අතර, ලොව පුරා පිළිකා රෝගීන් සහ ඒ හේතුවෙන් සිදුවන මරණවල වැඩි වීමක් දක්නට ඇති බව පරීක්ෂකයෝ පවසති.

නවතම වාර්තාවට අනුව, පිළිකා හේතුවෙන් මියයන පිරිසෙන් විශාල කොටසක් පෙනහළු, පියයුරු සහ බඩවැල්වල හටගන්නා පිළිකා හේතුවෙන් මියයති.

මේ තොරතුරුද කියවන්න:

'දුම්කොළ පාලනය'

රටවල් 28ක පිළිකා හේතුවෙන් මියයන කාන්තාවන්ගෙන් වැඩි පිරිසකගේ මරණයට හේතුව පෙනහළු පිළිකා බව වාර්තාවේ සඳහන් වේ.

ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්ක්, හංගේරියාව, චීනය සහ නවසීලන්තය ඇතුළු රටවල මෙම තත්වය වැඩි වශයෙන් දැකිය හැකිය.

"ලෝකය පුරා කාන්තාවන්ට පෙර කවදාවත් නැති විදියට පෙනහළු පිළිකා වැළදීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දුම්කොළ" යැයි එක්සත් රාජධානියේ පිහිටුවා ඇති පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන පුණ්‍යායතනයේ ජෝර්ජ් බටර්වර්ත් පැවසීය.

"එක්සත් රාජධානියේ පුරුෂයින්ට වඩා කාන්තාවන් අතර දුම්පානය ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඉතින්, පෙනහළු පිළිකා වැඩි වීම ගැන අපි පුදුම විය යුතු නැහැ."

"ඒ වගේම, අඩු සහ මැදි ආදායම්ලාභී රටවල කාන්තාවන් අතර ද දුම්වැටි ඉතා විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතිනවා. දුම්කොළ සමාගම්වල බලවත් වෙළෙඳ උපක්‍රම මෙයට මෙම තත්වයට බලපෑමක් එල්ල කර තිබෙනවා."

"මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ලෝකයේ සෑම රටක්ම දුම්කොළ පාලනය කිරීම සඳහා බලවත් ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බවයි," පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානයේ වෛද්‍ය ෆ්‍රෙඩී බ්‍රේ පැවසීය.

Image copyright Science Photo Library

'අසාමාන්‍ය විවිධත්වය'

සමස්තයක් වශයෙන් ගත් කළ, පිළිකා වර්ගවලින් භාගයක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි. මෙම කලාපය තුළ ජනගහනය වැඩි වීම සහ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන සමහර පිළිකා බහුල වශයෙන් තිබීම මෙම තත්වයට හේතු වී තිබේ.

උදාහරණයක් ලෙස, අක්මාවේ පිළිකා හටගත් රෝගීන් විශාල ප්‍රමාණයක් ආසියානු කලාපය තුළින් වාර්තා වේ.

කෙසේවෙතත්, ලෝකය පුරා හඳුනාගෙන ඇති පිළිකා වර්ග සහ එහි ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගැනීමේදී "අසාමාන්‍ය විවිධත්වයක්" නිරීක්ෂණය වන බව වාර්තාවේ ලේඛකයෝ පවසති.

මේ හේතුවෙන් සෑම රටක්ම පිළිකා මර්දන වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ ඔවුන්ට සරිලන විශේෂ ආකාරයකින් බව ඔවුහු තවදුරටත් පැවසූහ.

තවත් තොරතුරු: