ශ්‍රී ලංකාවේ උසම දුම්රිය පොළ පිහිටි උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය

Image copyright Shiwanthaa_Amarasinghe/Heritance_Hotel

"අපි දනුශ්කොඩි වෙනකම් ටිකට් දුන්නා. පාර්සල් පවා යැව්වා."

දැනට භාවිතයේ නොමැති රාගල දුම්රිය ස්ථානයේ සේවය කළ අවසන් ස්ථානාධිපතිවරයා බීබීසී සිංහල සේවයට එසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ අභාවයට ගිය දුම්රිය මාර්ගයක් පිළිබඳ අප කළ ගවේෂණයක් අතරතුරය.

නානුඔය සිට රාගල දක්වා 1900 වකවානුවේදී ආරම්භ කළ 'උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය', දෙවන ලෝක යුද සමයේ පැවැති ආර්ථික අපහසුතා සහ පසු කාලයේදී මහා මාර්ග දියුණු වීමත් සමග අභාවයට ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසේල කුලතුංග පවසයි.

"බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවැති වකවානුවේදී, ප්‍රධාන වශයෙන් තේ සහ වැවිලි ප්‍රවාහන අවශ්‍යතා මත මෙම මාර්ගය ඉදිවී තිබෙනවා," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේය

දැනට පවතින පට්ටිපොළ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 6204 ක් උසින් පිහිටා තිබුනත්, උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පැවැතියානම්, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය කඳපොළ බවත් එය මුහුදු මට්ටමේ සිට අඩි 6316 ක් උසකින් පිහිටි බවත් ආචාර්ය අසේල කුලතුංග ප්‍රකාශ කරයි.

මෙම ලිපිය සැකසෙන්නේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල කුලතුංග සමග ගවේෂණ කණ්ඩායමක් ක්ෂේත්‍ර සංචාරයේ යෙදෙමින් රැස් කළ කරුණු ඇසුරෙන්ය.

උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ගවේෂණය

උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය හෙවත් UPR Line ආරම්භ වන්නේ නානුඔය දුම්රිය ස්ථානයෙනි. එවක ඉංග්‍රීසි ජාතිකයන්ට නුවරඑළිය දක්වා ගමන් කිරීමට නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස වෙනත් විකල්ප ක්‍රම සොයාගැනීමට සිදුවිය. එමෙන්ම උඩුපුස්සැල්ලාව ආශ්‍රිත ප්‍රදේශයේ වගා කළ තේ සහ අනෙකුත් දෑ කොළඹට ප්‍රවාහනය කිරීම ද ගැටලුවක් විය.

සියලු කරුණු සැලකිල්ලට ගෙන 1895 වර්ෂයේ අප්‍රේල් 25 වෙනි දින නුවරඑළියට පැමිණි ශ්‍රීමත් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයාට මෙම නව දුම්රිය මාර්ගය පිළිබඳ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව 1900 වර්ෂයේදී සැතපුම් 19 ක් දිගින් යුතු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව නානුඔය සිට රාගල දක්වා පටු දුම්රිය මාර්ගයේ කටයුතු 1904 දී අවසන් කර ඇත.

ගමන් මාර්ගය

'Narrow Gauge Railway' ලෙස හැඳින්වෙන පටු දුම්රිය මාර්ගයේ පීලි අතර පරතරය අඩි 2 යි අඟල් 6 කි.

නානුඔය දුම්රිය ස්ථානයේ පසු කාලීනව සිදු කළ ඉදිකිරීම්වලදී අනෙක් කොටස් ඉවත් කර තිබුණත්, දැනට ඉදිකර ඇති වේදිකාව මැද උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ ආරම්භක ස්ථානය සංරක්ෂණය කර තිබේ.

මෙලෙස නානුඔය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන දුම්රිය මාර්ගය, දැන් පවතින අවිස්සාවේල්ල - නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරහා ගොස් ඒ අසල තිබෙන කන්දෙහි ඇති කැපුමක් ඔස්සේ ගමන් කර ඇත. එම ස්ථානයේ 'උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය' ලෙස පුවරුවක් සවිකර තිබුනත් මඳ දුරක් ඔබ්බට යාමේදී දුම්රිය මාර්ගය පිළිබඳ සළකුණක් හෝ සොයාගැනීම අපහසු වේ.

Image copyright Google map
Image caption උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය නානුඔය සිට රාගල දක්වා
  • බ්ලැක්පූල් දුම්රිය ස්ථානය

බ්ලැක්පූල් සිට අඹේවෙල, පට්ටිපොළ හරහා හෝර්ටන්තැන්නට යන මාර්ගය ඔස්සේ මද දුරක් ගිය විට පෙනෙන්නට තිබුනේ දුම්රිය සංඥා කණුවකි. එහි පහළින් තිබූ ගොඩනැගිල්ල දුම්රිය ස්ථානයක ගබඩාවක් ලෙස භාවිත කළ බවත් සංඥා කණුව තිබෙන ස්ථානයේ දුම්රිය නැවතුම්පොළ තිබූ බවත් අපට හමුවූ ප්‍රදේශයේ වැඩිහිටියෙක් පැවසීය.

එහි දුම්රිය සේවයට අයත් ගොඩනැගිල්ලකට ඉතිරි වී තිබුණේ එම ගබඩාව පමණකි. විනාශවී ගිය දුම්රිය මග ඔස්සේ තවදුරටත් ගිය අපට දැකගතහැකි වූයේ මනස්කාන්ත දිය දහරාවක් ගලා බසින නානුඔය හරහා ඉදිකර තිබූ පාලමක නටඹුන්ය.

  • තුරඟ තරග පිටිය අසල පාලම

මං සළකුණු විනාශ වී තිබුණත් දුම්රිය මගේ හැඩතල අනුමාන කරමින් පැමිණි අපට එය පේරාදෙණිය - නුවරඑළිය - චෙන්කලඩි මාර්ගය ඔස්සේ ගොස් තුරඟ තරග පිටිය දෙසට යොමුවන ආකාරය සොයාගැනීමට හැකි විය. තුරඟ තරග පිටිය අසලින් දිවෙන අතුරුමාර්ගයට අනෙක් පසින් දිවෙන තුරුපෙළ කෙළවර මෙම පටු දුම්රිය මග සඳහා ඉදිකළ පාලමක් දක්නට ලැබේ.

උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ නානුඔය හා රාගල අතර පිහිටි විශාලම දුම්රිය පොළ නුවරඑළිය දුම්රිය ස්ථානය වූ අතර අද එය නුවරඑළිය ඩිපෝව ලෙස භාවිත කරයි. මෙහි ඉදිරිපස අතීත ගෘහනිර්මාණ ශිල්පයන් අදටත් දැකිය හැකිය.

Image caption නුවරඑළිය දුම්රිය ස්ථානය අද දිස්වන අයුරු
  • කඳපොළ දුම්රිය ස්ථානය

කඳපොල නගරයේ බස් නැවතුම ආසන්නයේම කඳපොල දුම්රිය ස්ථානය ගොඩනැගිල්ල දක්නට ලැබේ. අද එහි ඇත්තේ ගබඩාව පමණක්වන තර, දුම්රිය වේදිකාව පැවති ගොඩනැගිල්ල මහා මාර්ගයේ සංවර්ධන කටයුතු වලදී විනාශ වී ගොස් තිබේ.

මෙහි සුවිශේෂත්වය වන්නේ මෙය ශ්‍රී ලංකාවේ මුහුඳු මට්ටමේ සිට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වීමය. එය අඩි 6316 ක් වන අතර දැනට පවතින පට්ටිපොළ දුම්රිය ස්ථානය පවතින්නේ අඩි 6204 ක් උසිනි.

මින් පසුව එළඹෙන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක දක්නට ලැබෙන වැඩිම ආනතිය සහිත කොටසය. එය බෲක්සයිඩ් දක්වා විහිදෙයි.

මෙම කඳපොල - බෲක්සයිඩ් කොටසේ ආනතිය 1/16 ක් වේ. ඒ අනුව එම මාර්ගයේ සෑම අඩි 16 ක් තුළම එක් අඩියකින් මාර්ගයේ උස වෙනස්වේ.

මෙම මාර්ගය පටු හෙවත් 'Narrow Gauge' දුම්රිය මාර්ගයක් ලෙස සකස් කිරීමට එය ද හේතුවක් වූ බව ආචාර්ය අසේල කුලතුංග පවසයි.

"අනෙක කුඩා අරයක් සහිත වංගු රාශියක් පැවතීම. මෙයට තදින්ම බලපෑවේ මෙහි තිබූ භූ විෂමතාව," ඔහු ප්‍රකාශ කළේය.

Image caption ආචාර්ය අසේල කුලතුංග
  • බෲක්සයිඩ් දුම්රිය ස්ථානය

නුවරඑළිය තරම් විශාල නොවූවත් මුළුමනින්ම දැවයෙන් කළ මෙම දුම්රියපොළ පෙර පැවති පරිදිම පවතින බව පැරණි ඡායාරුප තහවුරු කරයි. මෙය පිටුපසින් පැරණි දුම්රිය වැටී තිබූ අතර අද වන විට එහි ඇත්තේ මෙම ගොඩනැගිල්ල හා බංගලවක් පමණි.

Image caption එදා බෲක්සයිඩ් දුම්රිය පොළ අද මත්පැන් අලෙවි සලකි
  • රාගල දුම්රිය ස්ථානය

රාගල නගර මධ්‍යයේ තිබූ බව සැලැකෙන උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය පොළ වූ රාගල දුම්රිය පොළේ වෙනත් සළකුණු කිසිවක් නොවූවත් දුම්රිය මාර්ගයේ පීල්ලක කොටසක් කඩ කාමර කීපයක පඩියට යොදා ඇති සැටි අදටත් දක්නට ලැබේ.

උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ නානුඔය සිට රාගල දක්වා ප්‍රධාන සහ උප පොළ වශයෙන් නැවතුම් 11 ක් තිබූ බව ආචාර්ය අසේල කුලතුංග පවසයි.

  • නානුඔය
  • බ්ලැක්පූල්
  • නුවරඑළිය
  • පේද්රෝ (උප)
  • සමර්හිල් (උප)
  • පෝර්ට්ස්වුඩ් (උප)
  • කඳපොල
  • Twelve Forty (12:40) (උප)
  • ශාන්ත ජෝන් (උප)
  • බෲක්සයිඩ්
  • රාගල

"මෙම මාර්ගයේ තිබූ ආනතිය වැනි කරුණු නිසා දුම්රිය ධාවනය වී ඇත්තේ පැයට සැතපුම් 5.5 ක පමණ වේගයෙන්. සාමාන්‍ය මිනිසෙකුගේ ඇවිදීමේ වේගයත් පැයට සැතපුම් 3.4 ක් පමණ වනවා," ආචාර්ය අසේල කුලතුංග පවසයි.

කෙසේ වෙතත් 1920 පමණ වන විට මෙහි භාණ්ඩ රැගත් දුම්රිය 5 ක් හා මිශ්‍ර දුම්රිය 11 ක් ලෙස දුම්රිය 16ක් ධාවනය වී තිබෙන බව ඔහු සඳහන් කරයි.

Image caption "මගෙන් පස්සේ දුම්රිය පොළ නැතිවුණ එක ගැන දුකයි" රාගල අවසන් දුම්රිය ස්ථානාධිපති

මෙහි ධාවනය කිරීමට විශේෂිත ගැරට් වාෂ්ප එන්ජිමක් (H1 - 293) එංගලන්තයේ 'Bayer Peacock' සමාගමෙන් ආනයනය කළ බවට තොරතුරු ද පවතී.

මෙම දුම්රිය මාර්ග ගවේෂණයේදී සිදුවූ ඉතාමත් වැදගත් සිදුවීමක් වුයේ, ඒ වන විට දුම්රිය ධාවනය නොවුනත් රාගල දුම්රිය ස්ථානයේ සේවය කළ අවසන් දුම්රිය ස්ථානාධිපතිවරයා වූ 72 හැවිරිදි එච් ඒ ප්‍රනාන්දු හමුවීමය.

"මගෙන් පස්සේ මේක (දුම්රිය පොළ) නැතිවුණ එක ගැන දුකයි. අපි දුන්න ටිකට් එකෙන් රාගල ඉඳලා නානුඔයට බස් එකෙන් යන්න පුළුවන්. එතන ඉඳලා කෝච්චියට ඒ ටිකට් එකම වලංගුයි," ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත් ලොරි මගින් භාණ්ඩ ප්‍රවාහනය ජනප්‍රියවීමත් සමඟ සහ තවත් විවිධ හේතු මත උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ක්‍රමයෙන් අභාවයට ගොස් තිබේ.

1942 දී රාගල සිට නුවරඑළිය දක්වා කොටස ද, 1948 අගෝස්තු 02 වෙනි දින සම්පූර්ණයෙන්ම ද මෙම මාර්ගයේ දුම්රිය ධාවනය අත්හැර දමා තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසේල කුලතුංග අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

තවත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර