#MeToo: ඉන්දියාව ඇතුළු ලොව පුරා ඇවිලී යන ලිංගික හිංසනයට එරෙහි විරෝධතා ව්‍යාපාරය

Image copyright Getty Images

කාන්තා ලිංගික හිංසනයට එරෙහිව #MeToo නම් හෑෂ්ටෑගය යටතේ ලොව පුරා ක්‍රියාත්මක වන විරෝධතා ව්‍යාපාරයට සමගාමීව ඉන්දියාවේ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ද මහත් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොලිවුඩ් සිනමාවට සම්බන්ධ අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන්, නළුවන්, ප්‍රහසන නළුවන්, මාධ්‍යවේදීන්, පිටපත් රචකයන් ඇතුළු බොහෝ දෙනෙකු සම්බන්ධ කර ගනිමින් කාන්තා ලිංගික අතවර පිළිබඳ විශාල කතාබහක් ඇති වී තිබෙනු දැකිය හැකිය.

අමෙරිකාවේ හොලිවුඩයේ මෙන් ගවේෂණාත්මක මාධ්‍ය වාර්තා ඔස්සේ මෙම හිංසන පිළිබඳ ප්‍රචාරය වීම වෙනුවට, මාධ්‍යවේදිනියන් ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් ගැන දිගින් දිගටම හෙළිදරව් කිරීම ඉන්දියානු මාධ්‍යයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇත.

ලිංගික හිංසන පිළිබඳ චෝදනා එල්ල වී ඇති නවතම පුද්ගලයා වන්නේ ප්‍රවීණ නළු ආලෝක් නාත්ය.

ආලෝක් පෙනී සිටි රූපවාහිනී වැඩසටහනක අධ්‍යක්ෂවරයා විසි වසරකට පෙර වූ සිදුවීමක් පිළිබඳ චෝදනා නගමින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනක් විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.

"මම මේ දේට විරුද්ධ වෙන්නේත් නැහැ, හැබැයි එකඟ වෙන්නේත් නැහැ. එම දූෂණය කිරීම වෙන්න තිබුණ දෙයක්, හැබැයි වෙන කෙනෙකුට ඒ දේ කරන්න තිබුණා" යැයි ආලෝක් නාත් පැවසූ බව 'ඉන්ඩියන් එක්ස්ප්‍රස් (Indian Express) පුවත්පත වාර්තා කර තිබිණි. මේ අතර, රූපවාහිනී නළු නිළි සංගමය මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට පොරොන්දු වී ඇත.

Image copyright Getty Images

දිගින් දිගටම නැගෙන මෙම චෝදනා ආරම්භ වූයේ කෙසේදැයි පැවසීම අපහසුය. නමුත්, ඔක්තෝබර් 4 වෙනි දින ප්‍රහසන නළුවෙක් වන 33 හැවිදිරි උත්සාව් චක්‍රබෝති සිය පුරුෂ ලිංගයේ ඡායාරූප එවූ බව චෝදනා නගමින් තරුණ ප්‍රහසන නිළියක් ට්විටර් පණිවුඩයක් පළ කිරීමෙන් පසු බොහෝ දෙනා සිය අත්දැකීම් හෙළි කිරීමට පෙළඹිණි.

මෙම නළුවා තවත් කාන්තාවන් කීපදෙනෙකුට සිය ලිංගික අවයවවල ඡායාරූප යවා හෝ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලා ඇති බව ට්විටර් පණිවිඩයට පිළිතුරු දුන් කාන්තාවෝ පවසති. මේ සෑම පණිවුඩයකම අදාළ ඡායාරූප එවූ පුද්ගලයාගේ නම මකා දමා තිබිණි.

මේ තොරතුරුද කියවන්න:

#MeToo ව්‍යාපාරය සිදුකළ වෙනස කුමක්ද?

උත්සාව් චක්‍රබෝති මෙම චෝදනාවන් පිළිගත් අතර, පසුදින ඒ වෙනුවෙන් සමාව අයැද ට්විටර් පණිවුඩයක් පළ කළේය. මේ වන විට බොහෝ කාන්තාවන් පිරිසක් තමන්ට අත්විඳින්නට සිදු වූ ලිංගික අඩත්තේට්ටම් සහ පහරදීම් පිළිබඳ හෙළි කර තිබිණි. මෙම සිද්ධීන්වලට මුහුණ දුන් කාන්තාවන් අතුරෙන් බොහෝ දෙනෙකු මාධ්‍යවේදිනියන්ය.

Image copyright Getty Images

දින තුනක් ඇතුළත, තවත් විකට නළුවන්, ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවන්, කර්තෘවරුන්, ජනප්‍රිය කතුවරුන්, නළුවන් සහ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව චෝදනා එල්ල වන්නට වූ අතර, #MeToo හෑෂ්ටැගය ඉන්දියාවේ අන්තර්ජාලය තුළ ඉතා වේගයෙන් පැතිරී යන්නට විය. ලිංගික හිංසනය යනු කුමක්ද? එය කාන්තාවගේ කැමැත්ත හෝ සහාය ඇතිව සිදු වූයේ නම් තත්වය කෙසේ වේද? යන මාතෘකා පිළිබඳ ට්විටර් පණිවුඩ, සමාජ ජාල සටහන් ඔස්සේ විශාල විවාදයක් ගොඩනැගී ඇත.

ඉන්දියාව තුළ ලිංගික හිංසන පිළිබඳ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2017 වර්ෂයේදී 50කට අධික මහාචාර්යවරුන්ට චෝදනා එල්ල කරමින් නීති ශිෂ්‍යාවක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කළාය. මෙම සටහනේ කිසිවෙකුගේ නමක් සඟවා තිබුණේ නැත.

මාධ්‍ය ක්ෂේත්‍රය

මේ වන විට බොහෝ හෙළිදරව් සිදු කර ඇත්තේ මාධ්‍යවේදිනියන් විසිනි. මහාධිකරණ විනිසුරුවරයෙක් ද ඔවුන් චෝදනා එල්ල කරන අය අතර සිටී. එමෙන්ම, මීළඟ සතියේ තවත් හෙළි කිරීම් සිදු වීමට ඉඩ ඇති බව පෙනී යයි.

"බොහෝ දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. මෙතන වැරද්දක් සිදු වෙලා තිබෙන බවත්, යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ආයතන හෙමින් වටහාගනිමින් සිටිනවා," යැයි 'ද නිව්ස් මිනිට් (The News Minute)' අන්තර්ජාල පුවත්පතේ කර්තෘ ධාන්‍යා රාජේද්‍රන් බීබීසී වාර්තාකාරිනී දිව්‍යා ආර්යාට පැවසීය.

"නමුත්, මෙය තවම පටන් ගත්තා විතරයි. කාන්තාවන්ට ආරක්ෂිත රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමේ පළමු පියවර විතරයි," ඇය තවදුරටත් පැවසුවාය.

#MeToo සහ ශ්‍රීලාංකික කාන්තාවෝ

සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී සහ ඇතැම්විට සිය නිවසේදීම ලිංගික හිංසනයට ලක්වීම ලොව පුරා විවිධ රටවල වෙසෙන කාන්තාවෝ දිනපතාම මුහුණ දෙන ඉතා කටුක අත්දැකීමකි.

වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් සමාජවල වෙසෙන අනාරක්ෂිත කාන්තාවන් පමණක් නොවේ; සංවර්ධිත රටවල වෙසෙන සහ ප්‍රසිද්ධ සහ ඉහළ තනතුරු දරන කාන්තාවෝ ද බොහෝ විට එවැනි හිරිහැරවලට ලක්වෙති.

මේ තත්වය යටතේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ #MeToo හෑෂ්ටෑගය යොදාගනිමින් තමන්ට විඳින්නට සිදු වූ ලිංගික අතවර පිළිබඳව හෙළි කිරීමේ 'විරෝධතා ව්‍යාපාරයක්' ආරම්භ කර තිබේ.

ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ එම හෑෂ්ටෑගය යොදා ගනිමින් මේ මොහොතේත් සිය කටුක අත්දැකීම් හෙළිකරමින් සිටිති.

ශ්‍රී ලාංකික කාන්තාවන් සහ තරුණියන් ද තමන්ට මුහුණ පෑමට සිදු වූ එවන් අත්දැකීම් පිළිබඳ සිය සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.

තවත් තොරතුරු:

පොදු ප්‍රවාහන සේවාවල දී ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන වේදනාබර අත්දැකීම් ඇසුරෙන් බීබීසී සිංහල සේවය ද පසුගියදා විශේෂ වාර්තාවක් පළ කළේය.

"අපි දවසේ වැඩ ඉවර වෙලා බස් එකට නගින්නේ නිදහසේ යන්න. ඒ වගේ වෙලාවට සමහරවිට මහන්සියට නින්ද යන්නත් පුළුවන්. මෑතක දී දවසක් මට එහෙම බස් එක ඇතුළේ නින්ද ගියා. ටික වෙලාවකින් මට තේරුණා මගේ අනෙක් පස සිටින පුද්ගලයාගේ ඇඟිලි තුඩු මගේ කකුලේ වදිනවා කියලා. මම එක පාරක් ඔහු දිහා රවල බැලුවා. නමුත් ටික වෙලාවකින් ඔහු ඒ දේ ආපහු කරන්න පටන් ගත්තා" යැයි එක් කාන්තාවක් සිය අත්දැකීම හෙළි කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන නමුත් ලිංගික හිංසනය යනු දඬුවම් කළ හැකි වරදක් යයි බොහෝ දෙනා නොදන්නා බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා වාර්තා කළේය.

කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.

ප්‍රසිද්ධ ස්ථානවලදී පමණක් නොව අන්තර්ජාලය ඔස්සේ කෙරෙන 'සයිබර් බුලින්' (Cyber bulling) තරුණ කාන්තාවන් වර්තමානයේ මුහුණ දෙන තවත් බරපතළ ලිංගික හිංසනයකි.

මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය.

යම් අවස්ථාවක 'ඔබ හිංසනයට ලක්වන්නේ නම්' එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝ දෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී.