උතුරු කොරියානු නායකයාගෙන් ශුද්ධෝත්තම පියතුමන්ට ඇරයුමක්

Image copyright Getty Images
Image caption උතුරු කොරියාව ලෝකය සමග සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා පළ කළ නවතම අභිනය මෙම ඇරයුමයි

සිය රටේ සංචාරයක නිරත වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් විසින් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ට ඇරයුම් කරනු ලැබ ඇතැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ලබන සතියේ වතිකානුවේ සංචාරයක නිරත වීමට නියමිත දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් පියෝන්ග්යෑන්ග්හි සංචාරය කරන ලෙස සඳහන් ආරාධනය ශුද්ධෝත්තම පියතුමන් වෙත භාර දීමට නියමිතය.

මීට පෙර ජෝන් පෝල් ශුද්ධෝත්තම පියතුමන්ට එරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණ ද, මෙතෙක් කිසිදු ශුද්ධෝත්තම පියතුමෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වී නොමැත.

එසේ ම, උතුරු කොරියාව සහ වතිකානුව අතර කිසිදු නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් ද නොමැත.

"ජනාධිපති මූන් ජේ ඉන් ශුද්ධෝත්තම පියතුමන් සමග පවත්වන හමුවේදී එම ආරාධනය කරනු ඇති" දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිම් එයු කියෝම් මාධ්‍යවේදීන්ට පැවසීය.

උතුරු කොරියාව ලෝකය සමග සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා පළ කළ නවතම අභිනය මෙම ඇරයුමයි.

Image copyright Reuters

මේ වසරේදී උතුරු කොරියානු නායකයා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අතර අන්තර් කොරියානු සමුළු 3ක් ද පැවැත්විණි.

මීට පෙර කිම් ජොන්ග් අන්ගේ පියා වූ කිම් ජොන්ග් ඉල් විසින් එවකට සිටි ජෝන් පෝල් ශුද්ධෝත්තම පියතුමන්ට උතුරු කොරියාවේ සංචාරයක නිරත වන ආරාධනා කළේ, උතුරු කොරියාවට යාමට ඉඩ ලැබුණහොත් එය "ප්‍රාතිහාර්යයක්" වනු ඇති බවට ශුද්ධෝත්තම පියතුමන් කළ ප්‍රකාශයකින් අනතුරුවය.

එවකට දකුණු කොරියාවේ ජනාධිපති ධුරය දැරූ කිම් ඩේ ජුං සමග පැවති හමුවකදී උතුරු කොරියානු නායකයා එම ඇරයුම කළේය. එහෙත්, එම සංචාරය සිදු නොවිණි.