ගණිකා වෘත්තියේ යෙදීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු ඉන්දීය කාන්තාවක්

Right to be a prostitute Image copyright Getty Images

1958 මැයි පළමු වෙනි දින උතුරු ඉන්දියාවේ අලහාබාද් නගරයේ පිහිටි අධිකරණ ශාලාවක් තුළ සිටි තරුණ කාන්තාවක් දෙස සියලු දෙනාගේම නෙත් යොමු වී තිබිණි.

හුස්නා බායි නම් මෙම 24 හැවිදිරි කාන්තාව, විනිසුරු ජදීෂ් සහායිට පැවසුවේ තමන් ගණිකාවක් බවය. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දී ඇති නව නීතියට අභියෝග කර, ව්‍යවස්ථාවේ දැක්වෙන කරුණු ද සඳහන් කරමින් ඇය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

"මේ නව නීතිය නිසා ව්‍යවස්ථාවෙන් ගොඩ නගන රාජ්‍ය සුබසාධනයේ අරමුණ අවුල් වෙලා යනවා" යැයි සිය ජීවන වෘත්තිය අහිමිවීම පිළිබඳ කරුණු දක්වමින් හුස්නා බායි පැවසීය.

ගණිකා වෘත්තියේ යෙදෙන දිළිඳු මුස්ලිම් කාන්තාවක් සමාජ මතයට එරෙහිව සිදු කරන අරගලයක් ලෙස මෙය දැක්විය හැකිය. ගණිකා වෘත්තීය සිවිල් සමාජය තුළ තහනම් කිරීමෙන් පසු වීදි සරණ කාන්තාවන් පත් වී ඇති ශෝචනීය තත්වය පිළිබඳ සොයා බලන ලෙස ඇය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

නිල වාර්තාවලට අනුව 54,000ක්ව සිටි ඉන්දියාවේ ගණිකාවන් සංඛ්‍යාව 1951දී 28,000 දක්වා අඩු වී තිබේ. එමෙන්ම, ඔවුන්ට ලැබුණු මහජන සහයෝගය ද අවම වී ඇත. මෙම ගණිකාවන් එක් වී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට ආධාර ලබා දුන් අවස්ථාවේ දී මහත්මා ගාන්ධි ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙම කාන්තාවන් ද රැකියාවක නිරත වී මුදල් උපයා, දේපළ හිමිකරගෙන, අදාළ බදු ගෙවා ජීවත් වන පිරිසක් බව සැලකිල්ලට ගෙන නැත.

හුස්නා බායිගේ පෞද්ගලික ජීවිතයේ වැඩිදුර තොරතුරු සහ ඡායාරූප හෙළි වී නොමැත. ඇය වාසය කළේ ඥාති සොහොයුරියක සමගය. ඇය උපයන මුදලින් සිය බාල සොහොයුරන් දෙදෙනා ජීවත් කරවීමට වෙහෙස වේ තිබේ.

Image copyright MANSI THAPLIYAL
Image caption ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය

ගණිකාවක් වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැඳුණු හුස්නා බායිගේ කතාව යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන රෝහිත් ඩී ලියූ ග්‍රන්ථයේ කොටසක් ලෙස ඇතුළත් කර තිබිණි. ඇය ගැන වැඩි තොරතුරු නොමැති නිසා අධිකරණ වාර්තාවල සඳහන් වූ දේ පමණක් ග්‍රන්ථයට ඇතුළත් කර තිබිණි.

හුස්නා බායි අධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සේම මහත් ආන්දෝලනයක් ද ඇති විය.

දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සිදු කළ සංවාදවලින් "අති විශාල කොළ මිටි" පිරී ගියේය. අලහබාද් ප්‍රදේශයේ ගණිකාවන් පිරිසක් සහ කාන්තා නර්තන කණ්ඩායම් සංගමයක් මෙම පෙත්සමට ප්‍රසිද්ධියේ සහය පළ කරනු දක්නට ලැබිණි.

මේ තොරතුරුද කියවන්න:

මේ අතර, දිල්ලි, පන්ජාබ් සහ මුම්බායි නගරවල ජීවත් වන ගණිකාවන් ද හුස්නා බායි ඉදිරිපත් කළ හා සමාන පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. බේගම් කලවාත් නම් මුම්බායිහි ජීවත් වන ගණිකාවක් පාසලක් අසල සිය රැකියාවේ නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ. නමුත් මෙම ක්‍රියාවෙන් සමානාත්මතාවට ඇති අයිතිය සහ ව්‍යාපාරයේ යෙදීමට ඇති නිදහස උල්ලංඝනය වී ඇති බව තර්ක කරමින් ඇය මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය.

ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය. මෙම නීතියට එරෙහිව නැගී සිටිමින් අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුහු සිය ගනුදෙනුකරුවන්ගෙන් සහ දේශීය ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කළහ.

Image copyright MARGARET BOURKE-WHITE/GETTY IMAGES
Image caption "ලිංගික සේවයේ යෙදෙන්නන් මුහුණ දෙන බලපෑම් මෙම නීතිය නිසා තවත් වැඩි වී ඇති අතර, එය දිගු කලක් පැවති ඔවුන්ගේ පුරුදුවලට තර්ජනයක්."

වෘත්තීය ගායිකාවන් සහ නර්තන ශිල්පිනියන්ගෙන් සැදුම් ලත් සංගමයකට අයත් යැයි පවසන කාන්තාවන් 75 දෙනෙකු අදාළ නීතියට එරෙහිව දිල්ලි නහරයේ පිහිටා ඇති ඉන්දියානු පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියේ විරෝධතාවක නිරත විය. සාමාන්‍ය ලෙස ගණිකා වෘත්තියේ නියැලීම නතර කළහොත් මෙම වෘත්තීය වැදගත් යැයි සැලකෙන ප්‍රදේශවලට පැතිරෙනු ඇති බව ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවසූහ.

ගායිකාවන්, නර්තන ශිල්පීන් සහ "අපකීර්තියට" පත් වූ ලෙස සැලකෙන කාන්තාවන් 450 දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ද මෙම නීතියට එරෙහිව සටන් කිරීමට සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබේ.

"අපේ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ඕනෑම වෘත්තියක යෙදීමේ නිදහස මෙම නීතිය නිසා උල්ලංඝනය වෙනවා" යැයි උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වන අලහබාද්වල නර්තන ශිල්පිනියන්ගේ කණ්ඩායමක් පැවසීය.

තවත් තොරතුරු:

කල්කටාවේ ලිංගික සේවයේ යෙදෙන 130,000ක් කාන්තාවන්ට වෙනත් රැකියාවක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත්, දැඩි උපවාසයක් ආරම්භ කරන බව එහි සිටින ගණිකා වෘත්තියේ යෙදෙන්නියෝ පවසති.

හුස්නා බායිගේ පෙත්සම පිළිබඳ ඉන්දියානු පොලිසිය සහ රජය සිය අවධානය යොමු කර තිබේ. මේ අතර, ගණිකා වෘත්තියට එරෙහිව හඬ නගමින්, අදාළ නීතිය සඳහා සහාය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහ සමාජ ක්‍රියාකාරීහු හුස්නා ඉදිරිපත් කළ පෙත්සමට දැඩි විරෝධය පෑහ.

"ගණිකාවන් ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්ති අයදින ඉතා පුදුම සහගත අවස්ථාවක් මෙය," රෝහිත් ඩීගේ ග්‍රන්ථයේ මේ පිළිබඳ ඇතුළත් කරුණු විවේචනය කරන්නෝ පවසති.

Image caption ඉන්දියානු ව්‍යවස්ථා කෙටුම්පත් සකසන කණ්ඩායමට කාන්තාවන් කීප දෙනෙකු ඇතුළත් විය

"හුස්නා බායිගේ පෙත්සම සහ තවත් එවැනි පෙත්සම් නව ජනරජයක් කරා යන වැඩපිළිවෙළට එල්ල කරන ලද ප්‍රහාරයක්" යැයි තවත් විවේචනයක සඳහන් විය.

ඉන්දීය ව්‍යවස්ථා කෙටුම්පත් සකසන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ කාන්තාවන් කීපදෙනෙකු තර්ක කර සිටියේ, ගණිකා වෘත්තියේ යෙදීමට කාන්තාවන් කැමැත්තෙන් ඉදිරිපත් නොවූ අතර, ආර්ථික සහ සමාජීය තත්වය නිසා ඔවුන් බලහත්කාරයෙන් එම තත්වයට පත් වී ඇති බවය. නමුත් ඔවුන් පවා පුදුමයට පත් කරමින් මෙම ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවෝ සිය රැකියාව කිරීමේ මූලික අයිතිවාසිකම වෙනුවෙන් සටන් වදිමින් ඔවුන්ගේ "අවමානයට පත් වූ ජීවිතය" ඉදිරියට ගෙන යෑමට උත්සහ කරති.

"මේ ගැන ඉතා හොඳින් අධ්‍යනය කර බලන කළ, මෙය එක් පුද්ගලයෙකුගේ වීර ක්‍රියාවක් වෙන්නේ නැහැ. නමුත් නිදහසේ සංවිධානය වුණ ඉන්දියාව පුරා සිටින ලිංගික සේවකයන් එකතු වී නගන විරෝධයක කොටසක්" යැයි රෝහිත් ඩී පැවසුවේය.

"ලිංගික සේවයේ යෙදෙන්නන් මුහුණ දෙන බලපෑම් මෙම නීතිය නිසා තවත් වැඩි වී ඇති අතර, එය දිගු කලක් පැවති ඔවුන්ගේ පුරුදුවලට තර්ජනයක්."

දෙසතියකට පසු, තාක්ෂණික කරුණක් මත හුස්නා බායිගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. නමුත් නව නීතියෙන් තවමත් ඇයගේ අයිතීන් උල්ලංඝනය වී නොමැත. ඇය සිය වෘත්තියේ නියැලී සිටින ප්‍රදේශයෙන් පිටමංකර නැති අතර, ඈට එරෙහිව අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැත. ප්‍රදේශයෙන් පිටමං කිරීම ගැන ඇය ඉදිරිපත් කරන තර්කය නිවැරදි බව පැවසූ විනිසුරු සහායි වැඩිදුර විස්තර පැවසුවේ නැත.

කෙසේවෙතත්, ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතිය ව්‍යවස්ථානුකූල යැයි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. එමෙන්ම, ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට අසීමිත අයිතීන් භුක්ති විඳිය නොහැකි බව ද එම තීන්දුවේ සඳහන් විය.