සිරියානු ජනපති අසාද් ජයග්‍රහණය අසලට ගෙන ඒමට රසායන අවි සහය වූයේ කෙසේද?

Image copyright EPA

350,000කට අධික පිරිසකට මරු කැඳවූ සත් වසරක ව්‍යසනකාරී සිවිල් යුද්ධයකින් අනතුරුව, ජනාධිපති බෂර් අල් අසාද් තමන් බලයෙන් පහ කිරීමට උත්සහ කරන විපක්ෂ බලවේගවලට එරෙහිව ජයග්‍රහණයට ආසන්න වෙමින් සිටී.

ජනාධිපති අසාද්, එම කෲර, ලේ වැගිරෙන යුද්ධයේ ජයග්‍රහණය අබියසට ළඟා වූයේ කෙසේ ද?

සිරියාවේ රසායනික ප්‍රහාර 106 එල්ල වූ ස්ථාන, 2014 -2018

වැඩි තොරතුරු සඳහා මෙම රූපය ක්ලික් කරන්න

මූලාශ්‍රය: බීබීසී පැනොරාමා සහ බීබීසී අරාබි පර්යේෂණ. Carto ඇසුරින් සිතියම් සැකසී ඇත.

ඔහුගේ එම ජයග්‍රහණයට යොදාගත් සැලසුම්වලට රසායනික අවි කෙතරම් තීරණාත්මකව බලපෑවේ ද යන්න පිළිබඳ BBC Panorama සහ BBC Arabic සේවය ඒකාබද්ධව කළ මෙම ගවේෂණයෙන් පැහැදිලි කෙරේ.

1. රසායනික අවි භාවිතය පුළුල්ව සිදු විය.

සිය රට සතුව තිබූ රසායනික අවි තොග විනාශ කර දමන බවට සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් 2013 වසරේ පැවති ජාත්‍යන්තර අසායනික අවි සම්මේලනයේදී (Chemical Weapons Convention) ගිවිසුමකට අත්සන් තැබුව ද, එම වසරේ සිට අවම වශයෙන් රසායනික ප්‍රහාර 106ක් සිරියාව තුළ සිදුව ඇති බවට තහවුරු කරන ප්‍රමාණවත් සාක්ෂි බීබීසී පුවත් සේවය සතුව පවතී.

ගිවිසුම අනුමත කිරීමට මසකට පෙර සිය ගණනක පිරිසකට මරු කැඳවමින් සිරියාවේ, දමස්කස් අගනුවර ආසන්න ප්‍රදේශ කිහිපයකට රසායනික අවි ප්‍රහාර එල්ල කෙරිණ.

එම ප්‍රහාරයෙන් කම්පනයට ලක්වූවන්ගේ බිහිසුණු ඡායාරූප ලෝකය සලිත කළේ ය. බටහිර බලවතුන් පැවසුවේ, එම ප්‍රහාර එල්ල කරනු ලැබිය හැක්කේ සිරියානු රජය විසින් පමණක් බව ය. එහෙත්, සිරියානු ජනපති අසාද් චෝදනා කළේ, විරුද්ධ පක්ෂය එය කළ බවටය.

එහිදී එයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අමෙරිකාව තර්ජනය කළ ද, අසාද්ගේ මිත්‍ර රටක් වන රුසියාවේ මග පෙන්වීම මත සිරියාවේ රසායනික අවි ගබඩා විනාශ කිරීමට එකඟ වීම නිසා එය වැළකී ගියේය. රසායනික අවි ටොන් 1300ක් විනාශ කළ බවට සිරියානු රජය විසින් රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට (Organisation for the Prohibition of Chemical Weapons) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්න ද, සිරියාව තුළ දිගින් දිගට ම රසායනික අවි ප්‍රහාර සිදු කෙරිණි.

"රසායනික අවි ප්‍රහාර ඉතා දරුණුයි" 2016 වසරේ රජයේ හමුදා අතට පත් වන තුරු විපක්ෂයේ පාලනය යටතේ පැවති අලෙපෝ නගරයේ වාසය කළ අබු ජාෆර් පැවසීය. "රොකට් ප්‍රහාර එහෙම නැත්නම් බැරල් බෝම්බ වගේ දේවලින් මිනිස්සු මැරෙන්නෙ ක්ෂණිකව. ඔවුන්ට කිසි දෙයක් දැනෙන්නත් කලින් මැරිල යනවා. ඒත්, රසායනික ප්‍රහාරවලින් මිනිස්සු මැරෙන්නෙ හුස්ම හිරවෙලා. ඒකෙන් මැරෙන්නෙ හෙමින් හෙමින්. ඔක්සිජන් ආශ්වාස කරගන්න බරුව ටිකෙන් ටික මැරිල යනවා. ඒක හරි ම දරුණුයි"

එහෙත්, ජනාධිපති අසාද් දිගින් දිගට ම පවසා ඇත්තේ, සිය හමුදා කිසිදු අවස්ථාවක රසායනික අවි භාවිත කර නොමැති බවය.

"2013දී නතර කළාට පසු අපිට රසායනික අවි ගබඩාවක් තිබුණෙ නැහැ," ජනාධිපති අසාද් මෙම වසර මුලදී පැවසීය. "මේ ගැන රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය පරීක්ෂණයක් කළා. අපි ළඟ රසායනික අවි නැහැ කියන එක ඒකෙන් පැහැදිලි වුණා."


රසායනික අවි යනු මොනවා ද?

රසායනික අවි සම්මේලනයේදී අත්සන් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොය බලන ආයතනය ලෙස ක්‍රියා කරන රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය පවසන්නේ, හිතාමතා යමෙකු ඝාතනය කිරීමට රසායනික ද්‍රව්‍යයක පවතින විෂ සහිත සංඝටක යොදාගැනීම රසායනික අවි භාවිත කිරීමක් ලෙස සැලකෙන බවය.

ස්වාභාවික වගවිභාගයක් නොමැති දරුණු හානි හා අනවශ්‍ය වධ වේදනාවන් ඇති කරන හෙයින් එවැනි ආයුධ, මිලිටරි ඉලක්කයක් තිබුණ ද, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ රසායනික අවි භාවිතය තහනම්ය.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ තොරතුරු සෙවීමේ දූත සේවාව සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් ඒකාබද්ධ විමර්ශන යාන්ත්‍රණය විසින් සිරියාව සතුරු බලවේගවලට එරෙහිව විෂ රසායන භාවිත කිරීමේ චෝදනාව පිළිබඳව 2014 වසරේදී විමර්ශනයක් කරන ලදී.

ඔවුන් හෙළි කළේ, 2013 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2018 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ අවස්ථා 37කදී රසායනික අවි භාවිත කළ බවට තහවුරු වී ඇති බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිරියාව පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වෙනත් ආයතන සිය පරීක්ෂණ අවසානයේ ප්‍රකාශ කළේ, තවත් අවස්ථා 18කදී පමණ රසායනික අවි භාවිත කර ඇති බවට සාධක පවතින බවය.


මීට වසර 5කට පෙර ජාත්‍යන්තර අසායනික අවි සම්මේලනයේදී සිරියාව ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු රසායනික ප්‍රහාර 164ක් පිළිබඳ වාර්තා පරීක්ෂා කිරීමට BBC Panorama සහ BBC Arabic සේවයට හැකි විය.

එම BBC කණ්ඩායම තහවුරු කරනුයේ, එම අවස්ථා 164න් අවස්ථා 106කදී රසායනික අවි භාවිත කර ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි පවතින බවය.

මෙම ප්‍රහාරවලින් කිහිපයක් පමණක් පිළිබඳව මාධ්‍යවල පළ වුව ද, රසායනික අවි අඛණ්ඩව සහ ස්ථාවරව භාවිත කිරීමේ රටාවක් පැවති බව අදාළ දත්ත මගින් පැහැදිලි වේ.

"රසායනික අවි භාවිත කිරීම මගින් [ආණ්ඩුවේ හමුදාවන්ට] යම් ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ අවදානම සඳහා එය ඵලදායී වන බවයි. ඒ අනුව [රසායනික අවි] අඛණ්ඩව භාවිත කිරීම කරගෙන ගොස් ඇති හෙයින් ඔවුන්ට ඒවා දිගින් දිගට ම ඵලදායී වූ බව පෙනෙන්නට තිබෙනවා" රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ සිරියානු ප්‍රධානී ජූලියන් ටැන්ගේරේ පැවසීය.

එස්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත කරේන් පියර්ස් පැහැදිලි කළේ, සිරියාවේ රසායනික අවි භාවිතය "වරදක්" බවය.

"ඒක වරදක් වෙන්නේ, එයින් වන හානිකර බලපෑම් නිසා පමණක් නොවෙයි. වසර 100 ගණනක සිට භාවිතය තහනම් කළ අවි වර්ගයක් නිසයි," ඔහු පැවසීය.


දත්ත ගැන තොරතුරු

බීබීසී කණ්ඩායම 2013 වසරේ සිට එල්ල කළ රසායනික ප්‍රහාර 164ක් පිළිබඳ වාර්තා සලකා බැලීය.

එම වාර්තා, අදාළ ගැටුමට සම්බන්ධ නොවූ පුළුල් වශයෙන් අපක්ෂපාතී විවිධ මූලාශ්‍රවලින් ලැබිණි. එම මූලාශ්‍ර අතර ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් කණ්ඩායම්, වෛද්‍ය සංවිධාන සහ චින්තකයින්ගෙන් ලබා ගැනිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය කරන ලද පරීක්ෂණවලට අනුකූලව, ස්වාධීන විශ්ලේෂකයින්ගේ සහය ඇතිව බීබීසී පර්යේෂකයින් විසින් මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලට සමගාමීව අදාළ වාර්තා පරිශීලනය කරන ලදී.

බීබීසී කණ්ඩායම මෙම පර්යේෂණ ක්‍රමවේදය අනුගමනය කළේ, පර්යේෂණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේය.

එක් මූලාශ්‍රයක් පමණක් ඇති අවස්ථා සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවලදී එම සිද්ධි ඉවත් කිරීමට බීබීසී පර්යේෂකයෝ පියවර ගත්හ. ඒ අනුව කළ ගවේෂණය තුළින් අවස්ථා 106කදී රසායනික අවි භාවිත කළ බවට විශ්වසනීය සාක්ෂි ලැබී ඇති බව ඔවුහු තහවුරු කරති.

අදාළ ප්‍රහාර එල්ල වූ ස්ථාන පරීක්ෂා කිරීමට බීබීසී කණ්ඩායමට සිරියාවෙන් අවසර නොලැබුණු හෙයින් එම ස්ථානවල දර්ශන පටිගත කිරීමට නොහැකි වූ අතර ක්‍රමානුකූලව සාක්ෂිවල නිරවද්‍යභාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත්, එම ප්‍රහාර එල්ල වූ ස්ථාන සහ වේලාවන් පිළිබඳ තොරතුරු, ප්‍රහාල එල්ල වූ අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඇතුළු දැනට පවතින සාක්ෂි මගින් පර්යේෂණය ශක්තිමත් කිරීමට ඔවුන්ට හැකි වී තිබේ.


රසායනික අවි ප්‍රහාර වැඩි ම සංඛ්‍යාවක් එල්ල වී ඇත්තේ, සිරියාවේ වයඹ දිග පිහිටි ඉඩ්ලිබ් ප්‍රදේශයටය. බීබීසී සතු දත්ත අනුව ඉඩ්ලිබ් ප්‍රදේශයට ආසන්නයේ පිහිටි හාමා සහ ඇලෙප්පෝ ප්‍රදේශවලිනුත්, දමස්කස් නගරය ආසන්නයේ පිහිටි නැගෙනහිර ඝෝටා කලාපයෙනුත් සිද්ධි රැසක් වාර්තා වී තිබේ.

එම සෑම ප්‍රදේශයක් ම යුද්ධය පැවති සමයේ විපක්ෂයේ බලය පැවති ප්‍රදේශ වේ.

අදාළ රසායනික ප්‍රහාරවලින් වැඩි ම ජීවිත හානි වාර්තා වී ඇති ප්‍රදේශ වන්නේ, නැගෙනහිර ගූටා කලාපයට අයත් හාමා පළාතේ කාෆිර් සීටා සහ ඩූමා යන ප්‍රදේශයන්ය.

එම නගර දෙකේදී ම රජයේ හමුදා සහ විපක්ෂ සටන්කරුවන් අතර ගැටුම් පැවතිණි.

වාර්තාවලට අනුව, දරුණුතම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ඛාන් ෂෙයිකවුන් නගරයටය. 2017 වසරේ අප්‍රේල් 4 වන දා එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 80 දෙනෙකුට අධික පිරිසක් මිය ගිය බව විපක්ෂ සෞඛ්‍ය බලධාරීහු පවසති.

රසායනික ආයුධ මාරක වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් පවසන්නේ, සිවිල් වැසියන් ඝාතනය වූ සහ ආබාධවලට ගොදුරු වූ ප්‍රහාරවලින් වැඩි සංඛ්‍යාවක් ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර එල්ල කරන ලද පොකුරු ආයුධ සහ පුපුරන ආයුධ භාවිතයෙන් සිදුව ඇති බවය.

2. සිද්ධි රැසක සාක්ෂිවලින් ඇඟිල්ල දිගු වන්නේ සිරියානු රජය දෙසටය

2013 වසරේ සරින් (Sarin) ප්‍රහාරයට පසුව අමෙරිකාවේ සහ රුසියාවේ තැරැව්කාරීත්වය යටතේ අත්සන් තැබූ ගිවිසුමට අනුකූලව සිරියාව ප්‍රකාශයට පත් කළ සියලු රසායනික අවි විනාශ කළ හෝ ඉවත්කරන ලද බව 2014 ජූනි මාසයේදී රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකවරු නිවේදනය කළහ.

"සිරියාව තුළ ඇති බවට අපට දැන ගන්නට ලැබුණු සියල්ල අපි විනාශ කළා," රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ පරීක්ෂකයෙකු වූ ජූලියන් ටැන්ගෙරේ පැවසීය.

එහෙත්, සිරියාව ලබා දුන් තොරතුරු මත පමණක් එම අවි විනාශ කළ බවට ඔහු පැහැදිලි කිරීමක් කළේය.

"අපිට දීපු තොරතුරු අනුව ක්‍රියා කරන එක විතරයි අපිට කරන්න සිද්ධ වුණේ," ඔහු සඳහන් කළේය."විශ්වාසය මත පදනම්වයි අපි සියල්ල කළේ."

කෙසේ වෙතත්, එම සංවිධානය පැවසූ පරිදි සිරියාව ලබා දුන් ප්‍රකාශයේ පැවති "සිදුරු, අනුකූල නොවන තැන් සහ විෂමතා" තවමත් සොයමින් සිටී.

2018 වසරේ ජූලි මාසයේදී, එවකට රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අහමට් උසුම්කු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පැවසුවේ, සිය කණ්ඩායම "සියලු කරුණු තහවුරු කර ගැනීම සඳහා උත්සහ දරමින් සිටින," බවය.

සිරියාවේ රසායනික අවි විනාශ කළ බවට 2014 වසරේ ජූනි මාසයේදී නිවේදනය කළ ද, දිගින් දිගට ම රසායනික ප්‍රහාර එල්ල වූ බවට වන වාර්තා මතු වෙමින් පවතී.

Image copyright AFP
Image caption නැගෙනහිර ඝෝටා ප්‍රදේශයට එල්ල වූ බවට සැකකෙරෙන රසායනික ප්‍රහාරයෙන් පසු ප්‍රතිකාර ලබන දරුවෙක් සහ වැඩිහිටියෙක්

2017 වසරේ අප්‍රේල් මස 4 වන දා ඛාන් ෂෙයිකවුන් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් අබ්දුල් හමීඩ් යූසෆ්ට, ඔහුගේ බිරිඳ, මාස 11ක් වයසැති නිවුන් දරුවන්, සහෝදරයින් දෙදෙනා, ඔහුගේ ඥාති සොහොයුරා මෙන් ම අසල්වැසියන් විශාල පිරිසක් අහිමි විය.

සිය පවුලේ සාමාජිකයින් සහ අසල්වැසියන් මැරී වැටුණු ඔහුගේ නිවසේ මිදුලේ සිට ඔහු එදා පැවති තත්වය විස්තර කළේය.

"ඔවුන් වෙව්ලන්න ගත්තා, කටවල්වලින් පෙණ දමන්න වුණා," ඔහු පැවසීය. "ඒක රසායනික ප්‍රහාරයක් කියල දැනගත්තේ ඊට පස්සෙ. ඒක හරි ම බිහිසුණුයි."

විසඥ වී ඇද වැටුණු ඔහු පසුව රෝහලේදී පියවි සිහියට පැමිණියේ, සිය බිරිඳ සහ දරුවන් ගැන විමසමිනි.

"මිනිත්තු 15කට විතර පස්සේ මට ඒ ගොල්ලන්ව ගෙනල්ල පෙන්නුවා. ඔක්කොම මැරිල හිටියෙ. මගේ ජීවිතයේ මට වැඩියෙන් ම වටින අය මට නැති වුණා."

Image caption ඛාන් ෂෙයිකවුන් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් අබ්දුල් හමීඩ් යූසෆ්ට, ඔහුගේ බිරිඳ සහ මාස 11ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනා අහිමි විය

රසායනික අවි තහනම් කිරීමේ සම්මේලනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඒකාබද්ධ විමර්ශන මෙහෙයුම අවසානයේ අනාවරණය වූයේ, එම දිනයේදී පුද්ගලයින් විශාල පිරිසකට සරින් නමැති විෂ රසායනය ආග්‍රහණය වී ඇති බවය.

සරින් නමැති රසායන ද්‍රව්‍යය සැලකෙන්නේ, සයනයිඩ්වලට වඩා 20 ගුණයක් මාරාන්තික විෂ රසායනයක් ලෙසය. එම රසායනය ආග්‍රහණය වීමෙන් මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය එන්සයිමයක් අක්‍රිය වීම සිදුවේ.

ඒකාබද්ධ විමර්ශන මෙහෙයුම පැවසුවේ, ඛාන් ෂෙයිකවුන් නගරයට සරින් රසායනය මුදා හැරීම සම්බන්ධයෙන් සිරියානු රජය වගකිව යුතු වන අතර, ඒ සඳහා නගරයට බෝම්බ හෙළූ ගුවන් යානයක් භාවිත කර ඇති බවය.

ඛාන් ෂෙයිකවුන් නගරයේ ඡායාරූප දැකීමෙන් පසු සිරියානු ගුවන් හමුදා කඳවුරකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ දුන්නේය. ඒ, ඛාන් ෂෙයිකවුන් නගරයට ප්‍රහාර එල්ල කළ ගුවන් යානය එහි ඇති බවට බටහිර බලවේග විශ්වාස කළ හෙයිනි.

කෙසේ වෙතත්, සිරියානු ජනපති අසාද් පැවසුවේ, ඛාන් ෂෙයිකවුන් ප්‍රහාරය ව්‍යාජ ලෙස ගොතන ලද්දක් බවය. මේ අතර, එය රසායනික අවි ගබඩා කර තිබූ "ත්‍රස්තවාදීන්ගේ අවි ගබඩාවකට" සිරියානු ගුවන් හමුදාව බෝම්බ හෙළීමෙන් පසු ඇතිවූ විෂ දුමාරයක් බවට රුසියාව පැවසීය.

කෙසේ වෙතත්, රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ විමර්ශකයෙකු වූ ස්ටෙෆාන් මෝග්ල් පැවසුවේ, ඛාන් ෂෙයිකවුන් නගරයට එල්ල කළ සරින් රසායනය සිරියානු රජයට අයත් වූ බවට සාක්ෂි සොයා ගැනුණු බවය.

2014දී සිරියානු රජය ඔවුන් වෙත ලබා දුන් රසායනික අවි සම්බන්ධ දත්තවලදී එරට සතුව පැවති සරින් රසායනය සහ ඛාන් ෂෙයිකවුන් නගරයට එල්ල කළ රසායනය "පැහැදිලි ලෙස සමාන" වූ බව ඔහු සඳහන් කළේය.

Image copyright Reuters
Image caption විමර්ශන මෙහෙයුම අවසානයේ අනාවරණය වූයේ, එම දිනයේදී පුද්ගලයින් විශාල පිරිසකට සරින් නමැති විෂ රසායනය ආග්‍රහණය වී ඇති බවය.

ඒකාබද්ධ විමර්ශන මෙහෙයුම් වාර්තාවේ දැක්වෙන පරිදි ඛාන් ෂෙයිකවුන් නගරයෙන් ගත් සාම්පලවල සරින් තිබූ බවට හඳුනාගැනුණු අතර, එම රසායනය සකසා ඇත්තේ, සිරියානු රසායන ගබඩාවල තිබූ මෙතිල්ෆොස්ෆොනිල් ඩයිෆ්ලෝරයිඩ් (methylphosphonyl difluoride (DF)) නමැති රසායනය භාවිත කරමිනි.

"ඒකෙන් තේරුම් ගන්න පුළුවන්, සියල්ල ඉවත් කරල නැහැ කියන එක," මෝග්ල් පැවසීය.

සිරියාවේ රසායනික තොග ඉවත් කිරීම අධීක්ෂණය කළ ටැන්ගරේ පැවසුවේ, "අදාළ රසායනික ද්‍රව්‍යය සිරියාව අපට පෙන්වූ රසායනික තොගවල සඳහන්ව තිබූ එකක් නොවන බව කිව හැකියි."

"අපට පැවරිලා තිබුණු ආකාරයට අපිට කරන්න තිබුණේ ඉදිරිපත් කළ තොරතුරු පිළිබඳව සොයා බැලීමක් පමණයි. ඔවුන් ප්‍රකාශයට පත් කළ දත්තවල පවතින අඩුපාඩු සෙවීම වෙන ම ක්‍රියාවලියක්."

බීබීසී කණ්ඩායම සිතියම් ගත කළ අනෙක් ප්‍රහාර 105 ගැන පැවසිය හැක්කේ කුමක් ද? එම ප්‍රහාර පසුපස සිටියේ කවුරුන් ද?

ඒකාබද්ධ විමර්ශන මෙහෙයුම් වාර්තාව අනුව සල්ෆර් ප්‍රහාර දෙකක් IS ජිහාඩ් කණ්ඩායම විසින් එල්ල කරනු ලැබීය. බීබීසී කණ්ඩායම සතු දත්ත අනුව IS ත්‍රස්ත කණ්ඩායම විසින් තවත් රසායනික ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවට සාක්ෂි පවතී.

IS ත්‍රස්ත කණ්ඩායම හැරුණුකොට සිරියාවේ කිසිදු විපක්ෂ සන්නද්ධ කණ්ඩායමක් රසායනික ප්‍රහාර එල්ල කළ බව ඒකාබද්ධ විමර්ශන මෙහෙයුම හෝ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය අනාවරණය කර නොමැත. බීබීසී විමර්ශනය අනුව ද ඊට වෙනස් නිගමනයකට එළඹීමට තරම් විශ්වසනීය සාක්ෂි හමුවී නොමැත.

එසේ තිබියදීත්, විපක්ෂ සටන්කරුවන් අවස්ථා ගණනාවකදී රසායනික අවි භාවිත කළ බවට සිරියානු රජය සහ රුසියාව රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට පැමිණිලි කර තිබේ. විපක්ෂ සන්නද්ධ කැරලිකරුවන් පවසන්නේ, රසායනික අවි භාවිත කළ බවට තමන්ට එරෙහිව කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

වීඩියෝ, ඡායාරූප මෙන්ම ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ ඇතුළුව ලැබී ඇති සාක්ෂිවලින් පෙනීයන්නේ ප්‍රහාර 106න් 51ක් ම ගුවනේ සිට එල්ල කරන ලද බවය. එම ගුවන් ප්‍රහාර සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර බව බීබීසී විශ්වාස කරයි.

ජනාධිපති අසාද්ට සහය වනු පිණිස 2015 වසරේ සිට රුසියානු ගුවන් යානා විසින් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇති නමුත් රුසියානු හමුදා සිරියාව තුළ කෙදිනක හෝ රසායන අවි භාවිත කර ඇති බවට සළකුණු නොමැති බව විමර්ශන කොමිසමේ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ පවසති.

විමර්ශනයට ලක්වී ඇති සිදුවීම්වලදී ගුවනේ සිට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වලට තිබී ඇති බවට සාක්ෂි ද රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට ලැබී නැත.

විපක්ෂය ගුවනේ සිට රසායනික ප්‍රහාරයක් එල්ල කර තිබේදැයි යන්න ගැන ගෝලීය මහජන ප්‍රතිපත්ති ආයතනයේ ටොබායස් ෂ්නයිඩර් විමර්ශනයක යෙදී ඇති අතර නිගමනය වී තිබෙන්නේ නැත යන්නය. "ගුවනේ සිට රසායන අවි එල්ල කළ හැකි එකම පාර්ශවය අසාද් රෙජීමය පමණයි" ඔහු සඳහන් කළේය.

චැතම් මන්දිරයේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය ලීනා ඛතිබ් පැවසුවේ, "සිරියාවේ අපට පෙනෙන රසායනික අවි ප්‍රහාරවලින් බහුතරය කිසියම් ක්‍රමාවලියකට අනුව සිදුවූවක් වන අතර ඉන් පෙනෙන්නේ ඒවා ආණ්ඩුවේ සහ එහි මිත්‍ර පාර්ශවවල කටයුත්තක් බවයි" යනුවෙනි.

"සම්ප්‍රදයික අවි භාවිත කර කිසියම් ප්‍රදේශයක් යළි අත්පත් කරගැනීමට තරම් හමුදාමය හැකියාව නැතිවිට, ඇතැම්විට ආණ්ඩුව රසායනික අවි භාවිත කරනවා." ඇය සඳහන් කළාය.

ප්‍රහාර 106න් අති මාරාන්තික වූ - ඛාන් ෂෙයිඛුන් - හි ප්‍රහාරය සඳහා සරින් විෂ රසායනය යොදාගෙන තිබු අතර සාක්ෂිවලින් පෙන්වාදෙන පරිදි බහුලව භාවිත කෙරුණු විෂ රසායනය ක්ලෝරීන්ය.

ක්ලෝරීන් "ද්වී භාවිත" රසායනිකයක් ලෙස සැළකේ. නිත්‍යානුකුල සාමකාමීවූ බොහෝ සිවිල් කටයුතු සඳහා එය යොදාගන්නා නමුත් අවියක් ලෙස එය භාවිතයට ගැනීම CWC විසින් තහනම් කරනු ලැබ ඇත.

බීබීසී දත්ත අනුව, වාර්තාවූ ප්‍රහාර 106න් 79ක් සඳහා ම ක්ලෝරීන් උපයෝගීකරගෙන ඇති ඇතැයි සැළකේ. ඒකාබද්ධ විමර්ශන මෙහෙයුම හෝ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය විසින් විමර්ශනයට ලක්කරන ලද සිදුවීම් 15 තුළ ක්ලෝරීන් භාවිත කර ඇති බව නිගමනය වී තිබේ.

ඉතා ඉක්මණින් වාෂ්පවීම හා විසිරී යාම හේතුවෙන් ප්‍රහාරයකදී ක්ලෝරීන් භාවිතකොට ඇත්දැයි යන්න තහවුරු කිරීම දුෂ්කර බව විශේෂඥයෝ පවසති.

"ක්ලෝරීන් ප්‍රහාරයක් එල්ල වූ තැනකට ඔබ යන්නේ, ඉන් ඉතා කෙටි කාලයක් තුළ නොවේ නම් එම පරිසරයෙන් භෞතික සාක්ෂි රැස් කළ නොහැකි තරම්," යැයි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ හිටපු පරීක්ෂක ටැන්ගියෙරේ පැවසීය.

"උදාහරණයක් හැටියට සාක්ෂි ඉතුරු නොකොට එය භාවිත කරන්නට පුළුවන්. බොහෝ වාර ගණනක් එය සිදුවුයේ ඇයිදැයි ඔබට සිතා ගන්නට පුළුවන්."

වාර්තා වූ රසායනික ප්‍රහාරවල වේලාව සහ ස්ථාන සැලසුම් කිරීම අනුව එම රසායන භාවිත කළේ කෙසේද යන්න පිළිබඳ යම් ක්‍රමාවලියක් පෙන්නුම් කරන බවක් දක්නට ඇත.

ප්‍රහාරවලින් බොහෝ ඒවා අදාළ ප්‍රදේශ තුළ හා ඒ අවට පොකුරු ප්‍රහාර ලෙස එල්ල වී ඇති අතර එක ම වෙලාවක වූ බවක් දක්නට ලැබේ. එම පොකුරු ප්‍රහාර ආණ්ඩුවේ ප්‍රහාර සමග එක ම අවස්ථාවක වූ බව පෙනේ. 2014 දී හමා සහා ඉද්ලිබ් හි ද, 2015 දී ඉද්ලිබ් හි ද, 2016 වසර අගදී අලෙපෝ නගරයේ ද, එමන් ම 2018 දී නැගෙනහිර ඝුටා හි ද එම ප්‍රහාර එල්ල වී ඇත.

"ප්‍රදේශයක ජනයා එහි සිටීම අවශ්‍ය නැති බවට බරපතල පණිවිඩයක් යැවීමට ආණ්ඩුවට අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක රසායනික අවි භාවිත කර තිබෙනවා," යැයි චැතම් මන්දිරයේ ආචාර්ය ඛතිබ් සඳහන් කළාය.

"අවසානාත්මක දඬුවම ලෙස රසායනික අවි යොදාගැනීමට අමතරව, ගැටුම් හේතුවෙන් සිය හමුදා හැකියාව අඩුවෙමින් යන අවස්ථාවක ජනතාව තුළ බිය රැඳවීමටත් ආණ්ඩුවට එය ලාභදායී මෙන්ම පහසු මගක්."

"රසායනික අවි තරම් ජනතාව බිය ගන්වන වෙනත් යමක් නැහැ. රසායනික අවි භාවිත කරන ඕනෑම විටක දී ප්‍රදේශවාසීන් එම පෙදෙස් අතහැර පළායන අතර බොහෝවිට නැවත ඒ කරා පැමිණෙන්නේ නැහැ" යැයි ද ඇය පෙන්වා දුන්නාය.

වසර ගණනාවක සිට ගැටුම්වලට මැදිවූ අලෙපෝ නගරය එවැනි උපක්‍රමයක් යෙදවූ ස්ථානයක් ලෙස පෙනෙන්නට තිබේ.

නගරයේ මුළු පාලනය ම සියතට ගැනීම සඳහා ආණ්ඩුව සිය අවසාන ප්‍රහාරාත්මක මෙහෙයුම දියත් කරද්දී විපක්ෂ සටන්කරුවන් හා සිවිල් වැසියන් එහි නැගෙනහිර දෙස පිහිටි කොටසක සිරවී සිටියහ.

Image caption ඇතැම් සිරියානු පවුල් තමන් විසින් ම මුව මුහුණු ආවරණ සකසාගෙන ඇත

විපක්ෂය අත වූ ප්‍රදේශවලට මුලින් සම්ප්‍රදායික අවි භාවිත කෙරුණු දැවැන්ත ප්‍රහාරයක් එල්ල විණි. පසුව ඒ වෙත රසායනික ප්‍රහාර මාලාවක් එල්ලවූ බව වාර්තා වූ අතර ඉන් සිය ගණනකට හානිවූ බව පැවසිණි. අලෙපෝ ආණ්ඩුව අතට පත්වූ අතර අවතැන්වූ ජනතාව විපක්ෂය අත්පත් කරගෙන ඇති වෙනත් ප්‍රදේශ වෙතට විතැන් වූහ.

"අපට පෙනෙන්නට ඇති ක්‍රමාවලියෙන් දැක්වෙන්නේ සිය අවශ්‍යතා සඳහා උපක්‍රමිකමය වශයෙන් වැදගත් ප්‍රදේශවල ආණ්ඩුව රසායනික අවි භාවිත කර ඇති බවයි" ආචාර්ය ඛතිබ් කියා සිටියාය.

"මේ ප්‍රදේශ යළි අත්පත් කරගැනීමේ අවසන් අදියරේදී පෙනෙන්නට ඇති ආකාරයට රසායනික අවි යොදාගෙන තිබෙන්නේ එම ප්‍රදේශවල ජනයා පළා යාමට සැලැස්වීම සඳහායි."

2016 නොවැම්බර් මස අගභාගයේ සිට දෙසැම්බර් දක්වා නැගෙනහිර අලෙපෝ හි ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරවල අවසන් සති කිහිපය තුළදී ක්ලෝරීන් ප්‍රහාර 11ක් වාර්තා වී තිබේ. ඉන් ප්‍රහාර පහක් ම එල්ල වී තිබෙන්නේ ප්‍රහාරයේ අවසන් දින දෙකේදීය. විපක්ෂ සටන්කාමීන් හා ආධාරකරුවන් යටත්වීම හා ඉන් ඉවත් කර ගැනීමට එකඟවීමට පෙර එය සිදුවී තිබේ.

අලෙපෝ හි අවසන් දින කිහිපය තුළදී වෝහාරික විද්‍යාඥයෙකු ලෙස සිරියානු විපක්ෂය වෙනුවෙන් ක්‍රියා කළ අබු ජාෆර් රසායනික ප්‍රහාර ලෙස සළකුණු ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගණනාවක් පිළිබඳ පරීක්ෂණ කර තිබිණි.

"මෘත ශරීරාගාරයට ගිය මට සිරුරුවලින් හමන දැඩි ක්ලෝරීන් දුර්ගන්ධයක් දැනුණා" යැයි ඔහු කීය. "එම සිරුරු පරීක්ෂා කළ මට, ක්ලෝරීන් නිසා වූ හුස්ම හිරවීමේ පැහැදිලි ලකුණු දකින්නට ලැබුණා"

ක්ලෝරීන් භාවිතය හේතුවෙන් වූ විනාශකාරී බලපෑමක් තිබුණා යැයි ද ඔහු පැවසීය.

"වායුවලින් මිනිසුන්ගේ හුස්ම හිරකරනවා වගේම කලබලකාරීබවක් මෙන්ම භීතියක් ඇතිකරනවා" ඔහු සඳහන් කළේය. "යුද ගුවන් යානා වගේම හෙලිකොප්ටර් අහසේ හැම විටම තිබුණා. ඒ වගේම කාලතුවක්කු පහරදීම ද වුණා. නමුත් විශාල ම බලපෑම වූයේ රසායනික අවි."

ද්‍රව ක්ලෝරීන් මුදාහළ විට එය වහාම වායු බවට පත්වේ. එම වායුව වාතයට වඩා බරින් වැඩි හෙයින් එය බිම් මට්ටමට පහත්වේ. මේ හේතුවෙන් භූගත ස්ථාන හෝ බෝම්බවලින් ගැලවීම සඳහා භූගත ආවරණය ලබන පුද්ගලයින් මීට විශේෂයෙන් ම නිරාවරණය වේ.

"ඔවුන් උඩට ගියොත් රොකට් බෝම්බ ප්‍රහාරවලට හසුවෙනවා. පහළට ගියොත්, ඔවුන් මියැදෙන්නේ ක්ලෝරීන් නිස," අබු ජෆාර් පැවසීය

සිරියානු ආණ්ඩුව පවසන්නේ තමන් ක්ලෝරීන් අවියක් ලෙස උපයෝගී කර නොගත් බවකි. එහෙත්, අලෙපෝ හි වාර්තාවූ ප්‍රහාර 11 ම ගුවනින් එල්ල වූ ප්‍රහාර සේ ම, විපක්ෂය අත වූ ප්‍රදේශවල සිදුවූ බව බීබීසී දත්ත අනුව පෙන්නුම් කෙරේ.

ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වූ සංවිධානවලට අනුව අලෙපෝ නගරය තුළ අවසන් සති කිහිපයේ පැවති ගැටුම්වලදී සිවිල් පුද්ගලයින් 120,000ට වැඩි පිරිසක් නගරය හැරගොස් ඇත. එය සිවිල් යුද්ධයේ හැරවුම් ලක්ෂයක් විය.

මේ ආකාරයෙන් ම වාර්තාවූ රසායනික අවි භාවිත කිරීමේ ක්‍රමාවලියක්, දමස්කස් අගනුවරට ආසන්න විපක්ෂය අත පැවති බලවත් ස්ථානයක් වූ නැගෙනහිර ගූටා ප්‍රදේශය ආශ්‍රිත දත්තවලින් පෙනී යයි.

2018 ජනවාරි සිට අප්‍රේල් අතර කාලය තුළ කලාපයේ විපක්ෂය අත පැවති නගරවලින් ප්‍රහාර ගණනාවක් වාර්තාවී ඇත.

විපක්ෂ බලප්‍රදේශ බිඳවැටීම සමග සිදුවීම් හටගත්තේ කෙසේදැයි සිතියම්වලින් පෙන්නුම් කෙරේ.

භූමියේ ප්‍රහාරය දියත් කිරීමට පෙර ආණ්ඩුවට පක්ෂ හමුදා ගුවනින් කෙරෙන පහරදීම් වැඩිකරද්දී මාස හතරක කාලය තුළ වාර්තා වූ රසායනික ප්‍රහාරවලට ඉලක්ක වූයේ නැගෙනහිර ගූටා හි පිහිටි විශාලත ම නගරය වන ඩුමා ය.

වෛද්‍ය කණ්ඩායම් හා ගලවාගැනීමේ සේවකයින්ට අනුව අවසන් මෙන් ම අති මාරාන්තික වූ සිදුවීම අප්‍රේල් 7 වෙනිදා හටගත්තේ මහල් නිවාස පෙළක බැල්කනියක් මතට කහ පැහැති කාර්මික ගෑස් සිලින්ඩරයක් හෙළීමෙන් යැයි පැවසේ. ඉන් දිනකට පසු විපක්ෂය යටත් විණි.

විපක්ෂයට හිතවත් ක්‍රියාකාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝවලින් පෙන්නුම් කෙරුණේ මහල් නිවාසයේ භූගත කොටසේ ආවරණය ලබමින් සිටි දරුවන් 30 ට වැඩි ප්‍රමාණයක්, කාන්තාවන් හා මිනිසුන්ගේ යැයි ඔවුන් විසින් පවසන ලද සිරුරු ය.

එම රාත්‍රියේ එහි ගිය ක්‍රියාකාරිකයෙකු වන යසේර් අල්-දොමානි පැවසුවේ, එසේ මියගිය පුද්ගලයින් ගේ මුව වටා පෙණ මෙන්ම රසායනික හේතුවෙන් ඇතිවී යැයි පෙනෙන්නට ඇති පිළිස්සුම් වූ බව ය.

ආසන්න ගොඩනැගිල්ලක සිට ගන්නා ලද තවත් වීඩියෝවකින් පෙන්නු කෙරුණේ එම මියගිය දරුවන්ගේ ම සිරුරු, ඔවුන් ඇඳ සිටි එම ඇඳුම්වලින්, එම පිළිස්සුම් සහිතව ම හඳුනාගැනීම සඳහා පෙළට තබා ඇති අයුරු ය.

අදාළ මහල් නිවාසයේ සිට රෝහල කරා රැගෙන යන අයුරු දිටී යැයි කියන පුද්ගලයින් 18 දෙනෙකු සමග බීබීසී සාකච්ඡා කළේය.

වාර්තා වූ ප්‍රහාරයට දින දෙකකට පසු අදාළ මහල් නිවාස වෙත ගිය රුසියානු හමුදා විශේෂඥයින් පිරිසක්, ක්ලෝරීන් හෝ වෙනත් රසායනිකයක් පිළිබඳ සාධක තමන්ට හමු නොවූ බව පැවසූහ. එක්සත් රාජධානියේ සහය ඇතිව විපක්ෂය විසින් එම සිදුවීම ගොඩනගන ලද බව කී රුසියානු ආණ්ඩුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ චෝදනාව "විකෘතරූපී හා හාස්‍යජනක" ලෙස හඳුන්වමින් බැහැර කළේය.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ කරුණු සෙවීමේ කණ්ඩායමක් සති තුනකට පසු එම ස්ථානයට ගොස් අදාළ බැල්කනියේ වූ ගෑස් සිලින්ඩරයෙන් සාම්පල ගෙන ඇත. ඔවුන් විසින් ජූලි මාසයේදී කරන ලද වාර්තා කිරීමට අනුව, පුපුරණ ද්‍රව්‍යවල අවශේෂ සමගින් "විවිධ වූ ක්ලෝරීනකරණයට ලක්වූ කාබනික රසායන" අදාළ සාම්පලයෙන් හමුවූ බව කියවිණි.

Image copyright AFP
Image caption ආණ්ඩුවේ හමුදා විසින් විදින ලදැයි සළකුණු රොකට්ටුවක් එවක සටන්කරුවන් අත පැවති ඩුමා නගරයේ දී (ජනවාරි)

ප්‍රතිඵලවල සුවිශේෂීතාව තහවුරු කරගනු පිණිස කරුණු සෙවීමේ කණ්ඩායම තවමත් යෙදී සිටිය ද අදාළ පුද්ගලයින් මියගියේ ක්ලොරීන්වලට නිරාවරණයේ වීමෙන් බව බටහිර බලවතුන්ට ඒත්තු ගැන්වී ඇත.

ඩුමා හි සිදුවීමෙන් සතියකට පසු "සිරියානු ආණ්ඩුවේ රසායන අවි වැඩපිළිවෙල සමග විශේෂයෙන් ම ඈඳුණු" යැයි එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය විසින් පවසන ලද ස්ථාන තුනකට ඔවුහු ගුවනින් පහර දුන්හ.

එම ප්‍රහාරය එල්ල කෙරුණේ, නැගෙනහිර ගූටා ප්‍රදේශය විපක්ෂ සටන්කරුවන්ගෙන් නිදහස් කරගත් බව සිරියානු හමුදා ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙරාතුව ය. ඒ වන විට 140,000 ක පමණ පිරිසක් සිය නිවාස අත්හැර ගොස් සිටි අතර 50,000 ක පමණ පිරිසක් රටේ උතුරු ප්‍රදේශයේ විපක්ෂය විසින් අත්පත් කරගනු ලැබ ඇති බලප්‍රදේශය වෙත ඉවත් කරගනිමින් පැවතිණි.

"සිදුවී ඇති විනාශයේ තරම මා දුටුවා. මිනිසුන් හඬමින් සිය ගෙවල් දොරවල් හෝ දරුවන්ට සමුදුන්නා. මිනිසුන්ගේ ඒ දුක්ඛිත වූ, අතිශයින් ම පීඩාවට පත් වූ ඒ මුහුණු, එය සැබවින් ම වේදනාකාරීයි. ඒක මට අමතක කරන්න බැහැ." යැයි සිය ස්වාමිපුරුෂයා හා පුතු සමග ඩුමා හි වෙසෙන මනුවල් ජරදෙහ් පැවසුවාය.

රසායනික අවි භාවිත කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධ බීබීසී නගන ප්‍රශ්නවලට සිරියානු ආණ්ඩුව පිළිතුරු නොදෙනු ඇත. ඩුමා හි ප්‍රහාරය එල්ල වීයැයි වාර්තා වූ ස්ථානයට යාම සඳහා දමස්කස් වෙත සංචාරය කිරීමට පැනොරාමා වැඩසටහනේ කණ්ඩායමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ අතර සම්මුඛ සාකච්ඡා සඳහා කළ ඉල්ලීම් ද බැහැර කෙරිණි.

ජාත්‍යන්තර ප්‍රජාව සිරියානු ජනතාව අමතක කර ඇත්දැයි විමසු විට රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ හිටපු පරීක්ෂක ජුලියන් ටන්ගේරේ පැවසුවේ "ඔව්, මම එහෙම හිතනවා," යනුවෙනි.

"එය අසාද් රෙජීමයට ජීවිතයත් මරණයත් අතර ගැටීමක් වගේ. එහි ආපසු හැරීමක් නැහැ. මට ඒක තේරෙනවා."

"නමුත් යොදාගත්ත ක්‍රම වගේම සිදුවූ යම් පමණක ම්ලේච්ඡ දේ .... ඒක අවබෝධ කරගන්නට අමාරුයි. තැතිගන්වන සුළුයි."

ජනාධිපති අසාද් ඉන් ගැලවී සිටී ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටින එක්සත් රාජධානියේ තානාපති කැරන් පියර්ස් සිතන පරිදි එසේ නොවේ.

"සාක්ෂි එක්රැස් කරමින් සිටිනවා" යැයි කී ඈ, "යුක්තිය ඉටුවන දවසක් ඒවි. එය උදාකිරීම සඳහා අපට කළ හැකි උපරිම දේ කරනවා වගේම එය වේගවත් කරනවා" යැයි පැවසුවා ය.

"පැනොරාමා: සිරියාවේ රසායනික යුද්ධය" වැඩසටහන ඔක්තෝබර් 15 වෙනිදා බීබීසී වන් ඔස්සේ රාත්‍රී 8.30ට එක්සත් රාජධානිය තුළ විකාශනය කෙරුණි. ඉන් පසු බීබීසී අයිප්ලේයර් (BBC iPlayer) ඊට සවන්දිය හැක.

දායකත්වය: නිෂ්පාදනයෙන් - ඇලිස් කමින්ග්ස් හා කේට් මීඩ්. මංගත නිෂ්පාදනය - ඩේවිඩ් ග්‍රිටන්, ලුසී රොජර්ස්, ගෙරී ෆ්ලෙචර්, ඩැනියල් ඩන්ෆර්ඩ් සහ නසොස් ස්ටයිලියානූ

(බීබීසී පැනොරාමා වැඩසහන වෙනුවෙන් නවල් අල්-මගාහි - Nawal al-Maghafi - ඉදිරිපත් කළ වැඩසටහනක් ඇසුරෙනි)

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර