මව්වරුන්ට අවවාදයක්: ගැබ් ගැනීමට පෙර මේ ගැන හිතන්න

Image copyright Getty Images

මව්වරුන්ගේ මෙන් ම ළදරුවන්ගේ ද සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට මව්වරුන් දරුවෙකු බිහි කර තවත් ගැබ් ගැනීමක් සඳහා අවම වශයෙන් වසරක කාලයක් පසු කළ යුතු බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පරිදි මාස 18 ක කාලයක් ඒ සඳහා බලා සිටීමට අවශ්‍ය නොවන බව ද එම පර්යේෂකයින් පවසයි.

ගැබ් ගැනීම් අතර කාලය අඩු වීමෙන් නොමේරූ ළදරු උපත්, බර අඩු දරුවන් බිහිවීම මෙන් ම ළදරු සහ මාතෘ මරණ සිදු වීමේ අවදානමක් ද පවතී.

සිය පර්යේෂණයට අදාළ කරුණු වයස්ගත කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් "තහවුරු කළ හැකි" බව පර්යේෂකයෝ පවසති.

මෙම පර්යේෂණයට එක්වූ වෛද්‍ය වෙන්ඩි නෝර්මන් පවසන්නේ, වයස අවුරුදු 35 න් පසු සිය පවුල් ජීවිතය සැලසුම් කරන කාන්තාවන්ට මෙය "දිරි ගැන්වෙනසුලු ප්‍රවෘත්තියක්" වනු ඇති බවය.

Image copyright Getty Images

"වයස 35 න් පසුව පළමු වරට මව්වරුන් වන කාන්තාවන්ට සිය දරුවන් අතර පරතරය තබා ගැනීමට මෙය ඉතා ම හොඳ මාර්ගෝපදේශකයක්," ඇය පැවසුවාය.

"දරුවෙකු බිහි කිරීමෙන් පසු වසරක කාලයක් ගත වන තුරු යළි ගර්භණී නොවීම මගින් අවදානම් තත්ත්වයන් අඩු කර ගත හැකියි."

මේ ගැනත් දැනගන්න:

කැනඩාවේ සිදුවූ දරු උපත් 150,000 ක් අධ්‍යයනය කරමින්, බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලය සහ හාර්වඩ් සෞඛ්‍ය විද්‍යායතනය එක්ව කළ මෙම පර්යේෂණයේ නිගමන JAMA Internal Medicine සඟරාවෙහි පළ කර තිබේ.

මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ, යළි ගැබ් ගැනීම සඳහා මාස 12 ත් 18 ත් අතර කාල සීමාවක් පවත්වා ගැනීම ඉතා යහපත් බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ, එම කාලය මාස 18 ට අඩු නොවීය යුතු බවත්, මාස 24 ක පරතරයක් පවත්වාගන්නේ නම් වඩාත් යහපත් බවත්ය.

"වයස 35 ට වැඩි මව්වරුන් ඇතුළුව සෑම මවක් ම ගර්භණී වීම් අතර පරතරය අඩු අවස්ථාවලදී, මවට වගේ ම ළදරුවාටත් අවදානමක් ඇති කරන බව මෙම අධ්‍යයනයෙන් තහවුරු වුණා," අධ්‍යයනයේ ප්‍රධාන සංස්කාරක ලෝරා ස්කමර්ස් (Laura Schummers) පැවසුවාය.

"මෙව වයස්ගත කාන්තාවන්ට විශේෂයෙන් වැදගත්. ඔවුන් ගර්භණී වීමේ පරතරය අඩු වීමේ ප්‍රවණතාව වැඩියි. ඒක ඔවුන්ගේ වයස නිසා හිතාමතා කරන දෙයක්."

තවදුරටත් කියවන්න:

"විශේෂයෙන් තරුණ කාන්තාවන් අඩු කාල පරාසයකදී ගැබ් ගැනීම්වලට ලක් වන්නේ සැලසුම් ක්‍රම භාවිත නොකිරීම නිසා," පර්යේෂක වෛද්‍ය සෝනියා හර්නැන්ඩස් ඩයස් (Dr. Sonia Hernandez-Diaz) ප්‍රකාශ කළාය.

"ගර්භණීභාවය සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තිකයින්ගෙන් නිරන්තරයෙන් සහය ලබා ගන්න පුළුවන්," බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර