සෙල්ෆි මරණ: ඉන්දීය යුවළක් අඩි 3000ක කන්දකින් පහළට

Image copyright INSTAGRAM

29 හැවිරිදි විෂ්ණු විශ්වනාත් සහ 30 හැවිරිදි මීනාක්ෂි මූර්ති ඉන්දීය ජාතික යුවළක් වූ අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ, ඇමරිකාවේය.

ඔවුන් දෙදෙනා ම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ චෙන්ගනූර්හි ඉන්ජිනේරු විද්‍යායතනයෙන් උපාධි ලබා අමෙරිකාවේ නිව් යෝර්ක්හි රැකියාවල නිරත වූහ.

ඔවුන් නිරන්තරයෙන් Instagram භාවිත කර ඇති අතර අනතුරුදායක ස්ථානවලට ගොස් ඡායාරූප ගෙන එම ඡායාරූප Instagram පළ කරමින් එහි සිටි 14000කට අධික සිය මිත්‍රයින් පුදුම කරවීමෙන් මහත් සතුටක් ලැබූ බව ඔවුන් පළ කර ඇති ඡායාරූපවල සටහන් කියවීමෙන් දැන ගත හැකිය.

පසුගිය දා, ඇමෙරිකාවේ කැලිෆෝනියාහි කඳුකර ප්‍රදේශයක පිහිටි යෝස්මයිට් ජාතික උද්‍යානය පහළ කන්දක පාමුල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු දෙකක් හමුවී තිබිණි.

ඒ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත්තේ, ඔවුන් ඉන්දියානු යුවළක් බවය.

මෙම මිය යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විමර්ශන දියත් කරනු ලැබූව ද, ඊට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැත.

මළ සිරුරු හමුවූ තැන

Image copyright Getty Images
Image caption Taft Point

විශ්වනාත් සහ මූර්ති යුවළගේ මළ සිරුරු හමුවී ඇත්තේ, Taft Point නමැති ප්‍රදේශයේ ඉතා උස කඳු මුදුන් සහිත ස්ථානයක පිහිටි හෙළකිනි.

Taft Point නමැති ස්ථානය අඩි 3000ක පමණ උසින් යුක්ත වන අතර එය විවාහ යෝජනා ඉදිරිපත් කිරීමේ සහ පෙම්වතුන්ගේ ඡායාරූප ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකට වී තිබේ.

යෝස්මයිට් උද්‍යානයේ ප්‍රකාශක ජැමී රිචර්ඩ්ස් පවසන්නේ, එම යුවළ මිය යාම සම්බන්ධයෙන් කිසිවක් සිතාගත නොහැකි වුව ද, ඔවුන් කන්දෙන් පහළට වැටී ඇති බවට විශ්වාස කළ හැකි බවය.

ඔවුන් දෙදෙනා Holidays and Happily EverAfters නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගොස් ඇති අතර එහි සඳහන් වන්නේ, ඔවුන් "සංචාරය කිරීමට ඇබ්බැහි වූවන්" බවය.

සිය සැමියා අතිශය නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙකු බව ද මීනාක්ෂි මූර්ති එහි සඳහන් කර තිබේ.

තවදුරටත් කියවන්න:

සෙල්ෆි මරණයක්?

මෙය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගත් උත්සහයකදී සිදුවූවක් බවට විශ්වාස කළ හැකි බව විෂ්ණුගේ සොහොයුරු ජිෂ්ණු විශ්වනාත් පවසයි.

ජිෂ්ණු ප්‍රකාශ කළේ, සිය සොහොයුරා සහ මීනාක්ෂි මීට වසර 4 කට පෙර කේරළයේ හින්දු කෝවිලකදී විවාහ වූ බවය. එහෙත්, ඔවුන්ගේ අවමගුල අමෙරිකාවේදී සිදු කෙරිණි.

දෛවයේ සරදමක්

"ගොඩක් අය මමත් ඇතුළුව කැමතියි කන්දක මුදුනකට නැගලා අහස අල්ලන්න. ඒත් ඔබ දන්නවා ද, කඳු මුදුනේ සුළඟ මාරාන්තික වෙන්න පුළුවන් කියලා? අපේ ජීවිතවල වටිනාකම එක් ඡායාරූයකට සම කරන්න පුළුවන් ද?"

ඇය සිය බ්ලොග් අඩවියේ සඳහන් කර තිබිණි.

අවසානයේ ඇයගේ ජීවිතය ද ඡායාරූපයක වටිනාකමට සමාන වූවා ද?

තවත් පුවත්:

වසර 6ට මරණ 259ක්

Image copyright Getty Images

අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් වසර 2011 සිට 2017 කාලය ඇතුලත 259 දෙනෙකු මරුමුවට පත්ව ඇතැයි 2018 වසරේ ගෝලීය අධ්‍යනයකින් හෙළි වී තිබේ.

මරණ අවම කිරීම සඳහා අනතුරුදායක ස්ථාන තුළ 'සෙල්ෆි තහනම් කලාප' හඳුන්වා දිය යුතු බව ඇමරිකාවේ 'නැෂනල් ලයිබ්‍රරි ඔෆ් මෙඩිසින් (National Library of Medicine)' ආයතනයේ පර්යේෂකයෝ නිර්දේශ කරති.

වැඩි වශයෙන් මරණ සිදුව ඇති කඳු මුදුන්, උස් ගොඩනැගිලි සහ විල් එවැනි ස්ථාන අතර වෙයි.

දියේ ගිලීම, මාර්ග අනතුරු සහ ලිස්සා වැටීම් මරණවලට වැඩි වශයෙන් හේතු වී තිබේ.

ඊට අමතරව සතුන්, විදුලිසැර, ගිනි ගැනීම් සහ ගිනි අවි මගින් ද අනතුරු සිදුවන බව ලොව නන්දෙසින් වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර