ඉන්සයිට්ගේ අඟහරු ගමන
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඉන්සයිට් රෝවරය' නොවැම්බර් අග අඟහරු ග්‍රහයා වෙත ළඟාවේ

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය නොවැම්බර් අගදී අඟහරු ග්‍රහයා වෙත ළඟා වන ඔවුන්ගේ 'ඉන්සයිට් ලෑන්ඩරයේ' චාරිකාව පිළිබඳ වීඩියෝවක් නිකුත් කර තිබේ.

අඟහරු වෙත යවන උපකරණය, අඟහරු ග්‍රහයාගේ වායුගෝලයට ඇතුළු වීමේ සිට සිදුවන පියවර එමගින් විස්තර කර තිබේ. ඒ අනුව ඇතුළු වීම, පහත් කිරීම සහ ගොඩබැසීම යන පියවරවලදී සිදුවන ක්‍රියාදාමයන් එහිදී පැහැදිලි කරයි.

2012 වසරේදී ද අඟහරු වෙත යවන ලද කියුරියෝසිටි යානය පිළිබඳව ද ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෙවැනි ම වීඩියෝවක් නිකුත් කරන ලදී.

කියවන්න:

Image copyright AFP/Getty/NASA

ගොඩබැසීමේ ක්‍රියාවලිය

ඉහළ වායුගෝලයේ සිට අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මතුපිට ට ගොඩබැසීම දක්වා ක්‍රියාවලිය, ඇතුළු වීම, පහත් කිරීම සහ ගොඩ බැසීම යන අදියර තුනට බෙදේ. එසේ වුවද ඒ සඳහා පියවර විශාල සංඛ්‍යාවක් ඇත. සාර්ථක ගොඩබැසීමක් සඳහා ඒ සෑම පියවරක් ම නිවැරදිව සිදුවීම අත්‍යවශ්‍ය බව ජෙට් ප්‍රචාලනය පිළිබඳ විද්‍යාගාරයේ (Jet Propulsion Laboratory) ප්‍රධාන ඉංජිනේරු රොබ් මැනින් (Rob Manning) පවසයි.

අඟහරු ග්‍රහයාගේ වායුගෝලයට බොහෝ ඉහළ අභ්‍යවකාශයේ ආරම්භ වන එම ක්‍රියාවලියේ පියවරක් ලෙස, වායුගෝලයට ඇතුළු වීමට විනාඩි 7 කට කලින් ඉන්සයිට් යානය අඟහරු ග්‍රහයා මතුපිට නිවැරදිව පතිත වන ලෙස මුදා හරී.

Image copyright Science Photo Library
Image caption අඟහරු

ඉන් පසු යානය පැයට සැතපුම් 13,000 ක පමණ වේගයකින් ගමන් ගන්නා බවත්, එය අඟහරු පෘෂ්ඨයට අංශක 12 ක පමණ ඉතා කුඩා ආනතියක් සහිතව ගමන් කරන බවත් ඔහු පවසයි.

"ආනතිය වැඩි වුණොත් ඝන පෘෂ්ඨය මත ගැටී යානාව ගිනි ගන්නත්, ආනතිය අඩු වුණොත් පෘෂ්ඨයේ වැදී වායු ගෝලයෙන් පිටතට විසි වෙන්නත් පුළුවන්."

අඟහරු පෘෂ්ඨයට සැතපුම් 70 කට පමණ කලින් සිට වාතයේ ඝනකම වැඩිවනවාත් සමග ම යානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1000 කට වඩා වැඩි වන බව ඔහු පැහැදිළි කරයි.

"එය යකඩ උණු වීමට පවා ප්‍රමාණවත්." රොබ් මැනින් පවසයි.

මේ ගැනත් දැනගන්න:

ඊළඟ විනාඩි දෙකේදී යානය තම වේගය පැයට සැතපුම් 1000 දක්වා අඩු කර ගන්නා අතර අඟහරු පෘෂ්ඨයට සැතපුම් 10 කට පමණ පෙර 'සුපර් සොනික්' පැරෂුටය මුදා හැරීමට සැලසුම් කර තිබේ.

පැරෂුටය මුදාහැර තත්පර 15 කට පසු යානයේ යටි ආවරණය ස්වයංක්‍රීය ලෙස වැටෙන්නට හරින අතර, ඊට තත්පර 10 කට පසු යානයේ පාද විහිදී ගොඩබෑමට සුදුසු වන පරිදි අගුළු වැටෙනු ඇත.

ගොඩබෑමේ රේඩාර් යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය. එමගින් අඟහරු ග්‍රහයා හා යානය අතර දුර මෙන්ම ඉන්සයිට් යානයේ වේගය පිළිබඳ දත්ත සපයන බව ප්‍රධාන ඉංජිනේරු රොබ් මැනින් සඳහන් කරයි.

ඉන් පසුව එළඹෙන්නේ ගොඩබෑමේ පියවරයි. ඒ අනුව, අඟහරු පෘෂ්ඨයට සැතපුමකට පමණ පෙර යානය පැරෂුටය හා සම්බන්ධ වූ ඉහළ ආවරණයෙන් මිදී පහළට වැටෙන්නට සලස්වයි. එහිදී පැරෂුටය සහ ඊට ඇඳුනු ඉහළ ආවරණය ඉන්සයිට් වෙත පතිත වීම වැලැක්වීම සඳහා තරමක් ඈතට යාම අත්‍යාවශ්‍ය ම කටයුත්තකි. එසේ නොවී ඒ සියල්ල යානය මත පතිත වුවහොත් සියලු උත්සාහයන් නිරර්ථක වන බව ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි.

යානය අඟහරු මත පතිතවනවාත් සමග ම එන්ජිම ක්‍රියා විරහිත වනු ඇත.

"එහෙම නොවුණොත් යානය පෙරළෙන්න පුළුවන්," ප්‍රධාන ඉංජිනේරුවරයා පවසයි.

කෙසේ වෙතත්, 2018 මැයි මාසයේදී දියත් කළ ඉන්සයිට් තවමත් ඇත්තේ රතු ග්‍රහයාට වඩා කිලෝමීටර් මිලියන කීපයක් දුරිනි.

නමුත්, එය අඟහරු ග්‍රහයා වෙත ළඟා වන දිනය නිශ්චිත බව ඉන්සයිට් ව්‍යාපෘතියේ කළමනාකරු ටොම් හොෆ්මන් (Tom Hoffman) පවසයි.

"මොනවා වුණත් නොවැම්බර් 26 වෙනිදා ග්‍රිනිච් වේලාවෙන් 19.47 ට අපි ගොඩබස්සනවා. අපේ එක ම අරමුණ ඒකයි. අපිට ආපසු හැරෙන්න බැහැ," ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

තවත් පුවත්:

Image copyright Science Photo Library

ඉන්සයිට් යනු ස්ථාවර රෝවරයකි, එනම් කියුරියෝසිටි සහ නාසා ආයතනයේ රෝද සහිත රොබෝ යානා මෙන් ග්‍රහයාගේ තැනින් තැන සංචරණය නොකොට එය දිගට ම එක ම ස්ථානයක පවතිනු ඇත.

අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය පිළිබඳ ගවේෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වනු ඇත.

"අඟහරු කම්පන" මැනීම සඳහා ඉන්සයිට් මගින් ග්‍රහයා මත භූ කම්පන මානයක් යෙදීමට නියමිතය.

එසේ ම අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර පාෂාණ ස්ථර සැකසී ඇත්තේ කෙසේදැයි එමගින් නිරීක්ෂණය කරනු ඇත. එම දත්ත පෘථිවියේ දත්ත සමග සංසන්දනය කිරීමෙන් වසර බිලියන 6.4 කට පෙරාතුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ ආකාරය පිළිබඳ තවත් තොරතුරු නිශ්චය කරගත හැකි වනු ඇත.