බ්‍රෙක්සිට් සහ බ්‍රිතාන්‍ය දේශපාලන අර්බුදය: සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

Image copyright Reuters

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ගිවිසුමේ කෙටුම්පතකට අගමැතිනි තෙරේසා මේ අනුමැතිය පළකිරීමත් සමග බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය ද බදාදා එයට අනුමැතිය ලබා දුන්නේය.

එහෙත්, එයට විරෝධය පළකරමින් කැබිනට් අමාත්‍යවරුන් දෙදනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා (15) සිය පදවිවලින් ඉල්ලා අස්වූහ.

ඒ අතර, අගමැතිවරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ වී තිබේ.

ඇත්තෙන්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව 2016 ජුනි මාසයේ පැවති ජනමත විචාරණයේදී ඡන්දදායකයන්ගෙන් 51.9% ක් ඡන්දය දීමෙන් අනතුරුව 2019 මාර්තු 29 වෙනි දින මධ්‍යම රාත්‍රියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වය යාමට නියමිතව තිබේ.

ඒ සම්බන්ධ "දික්කසාද ගිවිසුම" සකස් කිරීම පිණිස දෙපාර්ශවය වසරකට අධික කාලයක් සාකච්ඡා පැවැත්වූහ.

අවසානයේ ඒ සම්බන්ධ කෙටුම්පතකට දෙපාර්ශවය එකඟ වූ නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ යුරෝපා සංගමයේ අනෙක් සාමාජික රටවල් 27 ද එය අනුමත කළ යුතුය.

මීළඟට සිදුවන්නේ කුමක්ද?

  1. නොවැම්බර් 25 - කෙටුම්පත යුරෝපා සංගමයේ රැස්වීමට ඉදිරිපත් කිරීම
  2. දෙසැම්බර් - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම
  • එහිදී පාර්ලිමේන්තුව එය අනුමත කළහොත් එවිට යුරෝපයෙන් ඉවත්වීමේ පනත් කෙටුම්පත හඳුන්වා දෙනු ලබන අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමෙන් අනතුරුව අපේක්ෂිත දිනයේ "දික්කසාදය" සිදුවනු ඇත.
  • බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එය ප්‍රතික්ෂේප කළහොත් දින 21ක් ඇතුළත බ්‍රිතාන්‍ය ආණ්ඩුව අලුත් සැලසුමක් ඉදිරිපත් කළ යුතුය.
  • ඒ සියල්ල ප්‍රතික්ෂේප වුවහොත් කිසිදු සම්මුතියකින් තොරව යුරෝපයෙන් ඉවත්වීම, යළි සාකච්ඡා කිරීම, මහමැතිවරණයක් හෝ ජනමත විචාරණයක් කැඳවීම යන විකල්ප බ්‍රිතාන්‍ය ආණ්ඩුව හමුවේ තිබේ.

ගිවිසුමේ අන්තර්ගතය කවරක්ද?

  • බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර වෙළෙඳ සම්බන්ධතා පැවැත්වෙන්නේ කෙලෙසද යන්න ගැන පිටු 585 කින් සමන්විත කෙටුම්පතේ ඇතුළත් වන්නේ පිටු පහක "දේශපාලන නිවේදනයක්" පමණි. එය වෙළෙඳාම පිළිබඳ අවසාන ගිවිසුමක් නොවේ.
  • උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර දේශසීමාව පිළිබඳ ප්‍රශ්නය දෙපාර්ශවය අතර සාකච්ඡාවල ප්‍රධානම ගැටලුවක් විය. දේශසීමාවේ හමුදාව යොදවා ආරක්ෂක මුරකාවල් තර කරමින් සාම ක්‍රියාදාමය අනතුරේ නොහෙලීමට දෙපාර්ශවයම අදිටන් කරගෙන සිටී.
  • "දික්කසාදයෙන්" අනතුරුවත් යුරෝපා සංගමයේ පුරවැසියන්ට හිමි අයිතීන් - ඔවුන්ට දැනට වෙසෙන රටවල ඒ ආකාරයෙන්ම දිවි ගෙවීමට අවසර ලැබෙනු ඇත.
  • බ්‍රිතාන්‍යය ඉවත්වීමෙන් අනතුරුවත් මාස 21 ක සංක්‍රාන්ති කාලයක් යෝජනා කෙරේ.
  • "දිකක්සාදය" වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් යුරෝපා සංගමයට පවුම් බිලියන 39 ක මුදලක් ගෙවනු ඇත.
  • හැම් වර්ග, චීස් වර්ග සහ වේල්සයේ බැටළු මස් ඇතුළු විවිධ ප්‍රදේශවලට ආවේණික නිෂ්පාදන 3000 ක් ආරක්ෂා කිරීම. ඇතුළු කරුණු ගණනාවක් පිටු 585 කින් සමන්විත කෙටුම්පතේ ඇතුළත් වේ.
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
රොහාන් මාසකෝරාළ

විශ්වාසභංග යෝජනාව

අගමැතිනී තෙරේසා මේ කෙරෙහි තවදුරටත් විශ්වාසයක් නොමැති බව පවසමින් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂයේ "1922 කමිටුව" වෙත ලිපි යොමුකර තිබේ.

මන්ත්‍රීවරුන්ගෙන් 15% ක් හෙවත් මන්ත්‍රීවරු 48 දෙනෙකු එම කමිටුවේ සභාපතිවරයා වෙත එවැනි ලිපි යොමුකළහොත් අනිවාර්යයෙන්ම පක්ෂ නායකයා විශ්වාස භංග යෝජනාවකට මුහුණදිය යුතු බව පක්ෂ ව්‍යවස්ථාවේ දැක්වේ.

අගමැතිනී තෙරේසා මේ කිසියම් ලෙසකින් රහස් ඡන්දය මාර්ගයෙන් එම යෝජනාව පරාජය කළහොත්, තවත් වසරක කාලයක් එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකිය.

එහෙත් එය පරාජය වුවහොත්, එවිට නායකත්වය සඳහා ඡන්ද විමසීමක් සිදු කෙරෙන අතර, අගමැතිනියට එම තරගයට ඉදිරිපත් විය නොහැකිය.

මේ අතර අවම වශයෙන් මන්ත්‍රීවරු 48 දෙනෙකු තමන් වෙත ලිපි යොමු කරන තුරු, මන්ත්‍රීවරුන් කොපමණ පිරිසක් තමන් වෙත ලිපි යොමු කර තිබෙන්නේ දැයි 1922 කමිටුවේ සභාපතිවරයා අනාවරණය නොකරයි.

තවත් කියවන්න: