චීන මහා ප්‍රාකාරය අනාගතයට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විනාශ වෙමින් පවතින චීන මහා ප්‍රාකාරය ප්‍රතිසංස්කරණයට නවීන තාක්ෂණය

කිලෝමීටර් 21,000 කට වඩා දිගින් යුත් චීන මහා ප්‍රාකාරය දැනට ලෝකයේ තිබෙන මිනිසා විසින් කරන ලද දිග ම නිර්මාණය වේ.

උතුරු ප්‍රදේශයෙන් ඇති විය හැකි ආක්‍රමණ වැළක්වීමේ පියවරක් ලෙස මහා ප්‍රාකාරය ඉදිකරන්නට යෙදිණි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් එය ස්වභාව ධර්මයේ ග්‍රහණයට නතු වෙමින් විනාශ වෙමින් පවතී.

Image copyright Getty Images

එබැවින්, මෙම ඓතිහාසික ස්මාරකය නවීන තාක්ෂණය භාවිත කරමින් සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.

දැනට ද චීන මහා ප්‍රාකාරයේ කොටසක් සංරක්ෂණය කර ඇතත්, ඇතැම් ස්ථාන දැඩි ලෙස විනාශ වී ඇති අතර එම ස්ථානවලට ළඟා වීම අතිශය දුෂ්කර මෙන් ම අනතුරුදායකය.

මේ ගැනත් කියවන්න:

එබැවින් ළඟාවීමට දුෂ්කර ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා එය සංරක්ෂණය කරන්නන් නව තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කරගෙන තිබේ.

ඒ, ඩ්‍රෝන යානා මගින් එවැනි ස්ථාන හඳුනාගෙන ක්‍රම ක්‍රමයෙන් ඒවා අලුත්වැඩියා කිරීමය.

Image copyright Getty Images

"චීන මහා ප්‍රාකාරයේ සමහර තැන් ඉතා ම අනතුරුදායකයි. ඒ වගේ තැන්වල දිග, පළල මැන ගන්නේ ඩ්‍රෝන් භාවිතයෙන්," මෙම ව්‍යාපෘතිය භාර ගෘහ නිර්මාණ ශිල්පියා වන ෂාඕ පෙං බීබීසී පුවත් සේවයට පැවසීය.

ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා ඡායාරූප සහ දර්ශන නිරීක්ෂණය කර ඔවුහු විනාශ වී ගිය කොටස් පිළිබඳව පූර්ණ තොරතුරු අධ්‍යයනය කරති.

පසුව එම කොටස් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපකරණ අඩි පාරවල් දිගේ බූරුවන් මත තබා රැගෙන යාමට සිදුව ඇති අතර කම්කරුවන් ද පයින් ම ඒ ඒ ස්ථානවලට ගමන් කළ යුතුය.

තවදුරටත් කියවන්න:

ගෘහ නිර්මාණ ශිල්පී ෂාඕ පෙං පවසන්නේ, කුමන දුෂ්කරතා පැවතිය ද මේ ඓතිහාසික උරුමය නිවැරදි ක්‍රමවේදයකට සංරක්ෂණය කරන බවය.

"මේක ගොඩක් සංකීර්ණ ඉදිකිරීමක්. මේකෙ තියෙන සිදුරු, කොන්ක්‍රීට් මිශ්‍රණය, භූමියේ සැලැස්ම වගේ ම හුණු බදාමය ගැනත් අධ්‍යයනය කළ යුතුයි."

මහා ප්‍රාකාරය රඳාගෙන සිටින පාදමේ බදාමය මේ වන විට විනාශ වී ඇති හෙයින් සුළු වර්ෂාවකදී පවා පාදමේ ගල් ගැලවී යාමෙන් ප්‍රාකාරයේ කුළුණුවලට විශාල හානි සිදු විය හැකිය.

ව්‍යාපෘතිය යටතේ එවැනි ස්ථාන පළමුවෙන් හඳුනාගෙන නිසි ඇගයීමකින් අනතුරුව අදාල ස්ථාන සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.

Image copyright Getty Images

ස්වභාව ධර්මයට අමතරව, යුද්ධ ගැටුම් සහ මිනිස් ක්‍රියාකාරකම් ගෙවී ගිය දීර්ඝ කාලය පුරා මේ ප්‍රාකාරය විනාශ කර ඇතත්, මෙම ප්‍රතිසංස්කරණ යටතේ චීන මහා ප්‍රාකාරයෙන් වැඩි කොටසක් අනාගත පරපුර වෙත ඉතිරි වනු ඇත.