කෂෝගි ඝාතනය: සෞදි කුමරු අණ දුන් බවක් සීඅයිඒ වාර්තාවේ නැතැයි ට්‍රම්ප් කියයි

Image copyright Reuters
Image caption සෞදි අරාබියේ ආයෝජන ඇමෙරිකාවට වැදගත් බව ට්‍රම්ප් දිගින් දිගට ම පැවසීය

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමට අණ කරනු ලැබ ඇත්තේ, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් බවට ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (CIA) නිගමනය කර නැතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගිය ඔක්තෝබර් 2 වන දා තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී කෂෝගි ඝාතනය කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකානු බලධාරීන් දිගින් දිගට ම කියා සිටියේ, මෙවැනි ඝාතනයක් සඳහා සෞදි කුමරුගේ අනුමැතියක් ලැබී තිබිය යුතු බවය. එහෙත්, සෞදි අරාබිය පැවසුවේ, එය "කුමන්ත්‍රනකාරී පිරිසකගේ" ක්‍රියාවක් බවය.

"ඔවුන් නිගමනයකට එළඹිලා නෑ," ෆ්ලොරීඩාහිදී මාධ්‍යවේදීන් පිරිසක් CIA වාර්තාව සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

මේ අතර, කෂෝගිගේ ඝාතනයෙන් පසු පළමු වරට විදෙස් සංචාරයක නිරත වෙමින් සෞදි ඔටුන්න හිමි කුමරු මැද පෙරදිග සංචාරයක් ආරම්භ කර තිබේ. ඔහු පළමුවෙන් ම ගොස් ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයටය.

අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සයෙඩ් ට්විටර් පණිවුඩයක් මගින් දක්වා තිබුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය "සෞදි අරාබියේ සහෝදරයින් වෙනුවෙන් නිරන්තරයෙන් ආදරණීය සහ සහයෝගී නිවසක්" බවය.

මේ මස අගදී සෞදි කුමරු බුවනොස් අයර්ස්හි පැවැත්වෙන G20 ලෝක නායකයින්ගේ රැස්වීමට ද සහභාගි වීමට නියමිත අතර එම සමුළුවට ඇමෙරිකාවර්‍ තුර්කිය සහ යුරෝපා රටවල් රැසක නායකයින් සහභාගි වීමට නියමිතය.

මේ අතර, කෂෝගි ඝාතනය කිරීමට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටින සෞදි නිලධාරීන් 18 දෙනාට එරෙහිව සම්බාධක පනවන බව ප්‍රංශය නිවේදනය කළේය.

කෙසේ වෙතත්, සම්බාධක පැනවූ නිලධාරීන් 18 දෙනා අතර සෞදි කුමරු නොමැති බව ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තවත් කියවන්න:

CIA වාර්තාව ගැන ට්‍රම්ප් කීවේ කුමක් ද?

"මගෙ ළඟ වාර්තාව තියෙනවා. ඒකෙන් අවසන් නිගමනයක් ඉදිරිපත් කරල නෑ. මං හිතන්නෙ නෑ සෞදි ඔටුන්න හිමි කුමරු ඒක කළා කියල කාටවත් නිගමනය කරන්න පුළුවන් කියලා" ෆ්ලොරිඩා හිදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසීය.

"ඔහු කළත් නැතත් ඒක තරයේ ප්‍රතික්ෂේප කර තියෙනවා. ඔහුගේ පියා ඒ කියන්නේ සෞදි රජු ඔහුත් ඒක ප්‍රතික්ෂේප කළා" ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මේ සතිය මුලදී නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, කෂෝගි ඝාතනය පිළිබඳව ඔටුන්න හිමි කුමරු "ඉතා හොඳින්" දැන සිටියා විය හැකි බවය.

එහි සඳහන් වූයේ, "ඔහු එය කළ ද නොකළ ද එම ශෝකී සිද්ධිය පිළිබඳව ඔහු ඉතා හොඳින් දැන සිටියා විය හැකියි" යනුවෙනි.

කෂෝගි ඝාතනයෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගට ම ප්‍රකාශ කළේ, සෞදි අරාබිය ඇමෙරිකාවේ වාර්තාගත ආයෝජනයකට එකඟත්වය පළ කර ඇති හෙයින් එරට ඇමෙරිකාවට ඉතා වැදගත් පාර්ශවයක් බවය.

Image copyright Getty Images

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව යැයි ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය පසුගිය දා වාර්තා කර තිබිණි.

මේ අතර අදාළ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන බවට ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රතිඥා දී තිබිණි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, පැපුවා නිව්ගිනියාවේ සමුළුවකට සහභාගි වෙමින් සිටි අතරතුරදීය.

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය "ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම" ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට ඉහතදී හඳුන්වා දෙනු ලැබ තිබිණි.

කෂෝගි සේවය කළ 'ද වොෂිංටන් පොස්ට්' කියා සිටින්නේ ඇමරිකාවේ සිටින සෞදි තානාපති ඔටුන්න හිමි කුමරුගේ සහෝදර ඛලීද් බින් සල්මාන් කුමරු විසින් ගන්නා ලද දුරකතන ඇමතුමක් CIA තක්සේරුවට අඩ වශයෙන් පදනම් වී ඇති බවය.

සිය සහෝදරයාගේ මග පෙන්වීම යටතේ ඛලීද් කුමරු කෂෝගි වෙත දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති බවත් ඔහුට ආරක්ෂා සහිතව කොන්සල් කාර්යාලය වෙත යා හැකි බවට ඛලීද් කුමරු එහිදී සහතික වී ඇති බවත් පැවසේ.