පාකිස්තානයේ චීන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිටුපස ඇති කතාව

Image copyright XINHUA

පාකිස්තානයේ කරාචි නගරයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප්‍රහාරයේ වගකීම බැලොකිස්තානයේ බැලොක් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් විසින් භාර ගනු ලැබීය.

එම ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් බැලොක් බෙදුම්වාදීන් අනතුරු අඟවූයේ, චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝවට (CPEC) මුවාවී බැලොකිස්තානයේ ස්වාභාවික සම්පත් සහ ඉඩම් අයිති කර ගැනීම නතර නොකළහොත් යළි ප්‍රහාර එල්ල කරන බවටය.

චීන සහ පාකිස්තාන රජයයන් CPEC ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පාකිස්තානය (විශේෂයෙන් බැලොකිස්තානය) විශාල විපර්යාසයකට ලක් විය. ඔවුන් පැවසුවේ, මේ හරහා පාකිස්තානය තුළත් විශේෂයෙන් බැලොකිස්තානය තුළත් සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක වන අතර එම ප්‍රදේශවලට සෞභාග්‍යයක් අත්වනු ඇති බවත්ය.

Image copyright EPA

බැලොකිස්තානයට මෙම ගිවිසුම හරහා සෞභාග්‍යය ළඟා වනවා නම් අදාළ කණ්ඩායම් එම ආයෝජනයට එරෙහි වන්නේ ඇයි? ඔවුහු ඒ වෙනුවෙන් මිනිසුන් මරා දැමීමට තරම් සූදානමින් සිටිති.

මෙහි වැදගත් කරුණක් වන්නේ, සන්නද්ධ කණ්ඩායම් පමණක් නොව ඇතැම් නිරායුධ ජාතිකවාදී කණ්ඩායම් සහ ඇතැම් දේශපාලන නායකයින් ද මෙම ආයෝජනයට එරෙහි වී සිටීමය.

ඊට එරෙහි වීමට හේතු මොනවා ද?

CPEC ව්‍යාපෘතියේ ආරම්භය 2008 වසර දක්වා දිවෙයි. එවකට පාකිස්තානයේ රාජ්‍ය බලය අතැතිව සිටි පාකිස්තාන මහජන පක්ෂය සහ ජනාධිපති අසිෆ් අලි සර්දාරි වාර ගණනාවක් චීනයේ සංචාරවල නිරත වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ, ග්වාඩා වරාය සිංගප්පූරුවෙන් ආපසු පවරගෙන චීන සමාගමක් වෙත පැවරීමය.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ගෞරවය මහජන පක්ෂයට ලබා දීම නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය පිළිගත්තේ නැත. කෙසේ වෙතත්, බැලොකිස්තානයේ ප්‍රබල නායකයෙකු වන සානා බැලොක් චෝදනා කරන්නේ, බැලොකිස්තානයේ නායකයින් දැනුවත් නොකර ග්වාඩා වරාය සම්බන්ධයෙන් මහජන පක්ෂය තීන්දුවක් ගත් බවටය.

බැලොකිස්තානයේ සම්පත් පවරා ගැනීමේ සැලසුමක් තිබේ ද?

පාකිස්තානයේ සෑම නිවසක ම පාහේ ස්වාභාවික වායු භාවිත කළ ද බැලොකිස්තානයේ නිවාස බොහොමයක එම පහසුකම නොමැත. එම ස්වාභාවික වායු පාකිස්තානයේ හඳුන්වනු ලබන්නේ, සුයි වායුව (Sui Gas) ලෙසය. ඒ, එම වායුව බැලොකිස්තානයට අයත් සුයි ප්‍රදේශයෙන් සොයා ගත් හෙයිනි. එම ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් ප්‍රදේශ වාසීන්ගේ ප්‍රයෝජනයට නොලැබීම මෙම විරෝධතාවලට ඍජුව බලපා ඇති කරුණකි.

Image copyright Getty Images

CPEC ගිවිසුම හරහා ද මෙවැනි ම ගැටලුවලට බැලොකිස්තාන් වැසියන්ට මුහුණ දීමට සිදු වන බවට පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයින් දැඩි උනන්දුවකින් ක්‍රියා කරනු දක්නට නොලැබේ. එහෙත්, බැලොකිස්තාන් නායකයින් දිගින් දිගට ම චෝදනා කළේ, අදාළ ගිවිසුම හරහා චීනය සිය ස්වාභාවික සම්පත් පවරා ගනු ඇති බවටය. එහෙයින්, ප්‍රදේශ වාසීන්ට එම ස්වාභාවික සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත නොහැකි වනු ඇත. බැලොක් නායකයින් සිය ස්වාභාවික සම්පත් චීනයට පවරන බවට චෝදනා කරනුයේ එහෙයිනි.

මේ තොරතුරුද කියවන්න:

ස්වදේශිකයින්ට රැකියා නැහැ

ග්වාඩාහි වේගවත් වෙනසක් දක්නට ලැබුණ ද එහි ප්‍රදේශ වාසීන් කිසිදු වෙනසකට ලක්ව නැත. ග්වාඩා වරායේ නව යන්ත්‍රෝපකරණ ස්ථාපනය කර ඇත. නව මාර්ග ඉදිකර තිබේ. එහෙත්, බීමට දිය පොදක් නොමැතිව එහි ප්‍රදේශ වාසීහු පීඩා විඳිති.

එපමණක් නොව මෙම ව්‍යාපෘති භාරව කටයුතු කරන සේවකයින් බහුතරයක් චීනයේ සිට පාකිස්තානයට පැමිණි සේවකයෝ වෙති. එම ව්‍යාපෘතිවල පාකිස්තාන වැසියන් සේවය කරනුයේ ඉතා අල්ප වශයෙනි. එහි සෑම ව්‍යාපෘතියක ම පාහේ තත්ත්වය මෙයයි.

තමන්ට රැකියා හෝ ව්‍යාපාරික අවස්ථා ලබා නොදෙන බවට බැලොකිස්තාන් වැසියන් චෝදනා කරද්දී, පාකිස්තාන රජය පවසන්නේ, එම ප්‍රදේශයේ උගත්, කුසලතා සහිත පුද්ගලයින් නොමැති බවය. මෙවැනි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශයක වැසියන්ට නිසි අධ්‍යාපනයක් ලබා නොදීම පිළිබඳව වග කිව යුත්තේ කවුරුන් ද?

බැලොකිස්තානයේ සංවර්ධන කටයුතු සමග දැඩි වන ආරක්ෂක රැකවල්

රජයේ මෙන් ම සන්නද්ධ කැරලිකරුවන්ගේ ද මුරපොළවල් නිසා නිරන්තර පීඩාවට ලක්ව සිටින්නේ, බැලොකිස්තාන් වැසියන්ය. මෙම මුරපොළ රැසක් ඉදි කර ඇත්තේ, හිටපු යුද ඒකාධිපතියෙකු වූ පර්වේස් මුෂාරෆ්ය. ඔහු සැලසුම් කර තිබුණේ, බැලොකිස්තානයේ සන්නද්ධ නායකයෙකු වූ නවාබ් අක්බර් නමැත්තාට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමටය.

එම මෙහෙයුම අතරතුර නවාබ් අක්බර් ඝාතනයට ලක්වූ අතර අඩියෙන් අඩිය මුරපොළවල් ඉදි කෙරිණි. රජය පැවසුවේ, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒවා ඉදිකළ බවය. එහෙත්, බැලොක් ජාතිකවාදීන් චෝදනා කළේ, එම මුරපොළවල් ඉදිකිරීම ප්‍රදේශ වාසීන්ට නින්දා කිරීමක් බවටය.

සනාඋල්ලා බැලොක් පවසන්නේ, CPEC ගිවිසුම හරහා සංවර්ධන වැඩ කටයුතුවලට ආරක්ෂාව සැපයීමට තවත් මුරපොළවල් රැසක් ඉදිකරනු ඇති අතර ඉන් ජනතාව තවත් ගැටලුවලට මුහුණ පානු ඇති බවය.

මෙම ප්‍රදේශයේ වෙරළාරක්ෂක භටයින් වැනි ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ නොවන පුද්ගලයින් ද යොදවා ඇති අතර ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයට හේතු වී ඇත්තේ ඔවුන් බව පැවසේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ආරක්ෂක හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වුවහොත් ප්‍රදේශ වාසීන් ඍජුව එයින් පීඩා විඳිනු ඇත.

තවත් තොරතුරු:

සබැඳි විෂයයන්