කැප වූ කන්‍යාවෝ: 'මම ක්‍රිස්තුන්වහන්සේ සමග විවාහ වුණා'

Consecrated virgins Image copyright TODAY'S CATHOLIC/JOE ROMIE

ජෙසිකා හේයස් සිය මංගල ඇඳුම, වේලය සහ මුදුව මිලදී ගත්තාය. නමුත් ඇය සිය විවාහයේ ආගමික උත්සවයට සහභාගි වෙමින් පූජකතුමා ඉදිරියේ අල්තාරය මත සිට ගත් විට අනෙක් පස මනාලයෙකු සිටියේ නැත.

ඇය විවාහ වූයේ යේසුස් ක්‍රිස්තුන්වහන්සේ සමගය.

41 හැවිදිරි ජෙසිකා හේයස් කැප වූ කන්‍යාවකි. දෙවියන්ගේ මනමාලියක් වීමේ බලාපොරොත්තුවෙන් කතෝලික දේවස්ථානය සමග බැඳීමක් ඇති කරගත් කාන්තාවෝ කැප වූ කන්‍යාවන් බවට පත්වෙති.

කැප වූ කන්‍යාවන් ගැන කතෝලික ආගමික ග්‍රන්ථවල පවා වැඩි විස්තර සඳහන් නොවේ. කැප වූ කන්‍යාවන් බවට පත් වීමේ බැඳීමට කතෝලික සභාව ප්‍රසිද්ධියේ අවසර දීම සිදු වූයේ මීට වසර 50කට අඩු කාලයකට ඉහත දී වීම මෙයට එක් හේතුවකි.

දිවිය පුරාවට කිසිදු ලිංගික හෝ ප්‍රේම සම්බන්ධතාවක් නොපවත්වන බවට මනාලියක් ලෙස සැරසුණ කාන්තාව දේවස්ථානයේ පවත්වන ආගමික උත්සවයේ දී ප්‍රතිඥා දෙන්නීය.

ක්‍රිස්තුන්වහන්සේ සමග විවාහ ගිවිසගැනීම සංකේතවත් කිරීමට එම කාන්තාව මංගල මුදුවක් ද පැළඳිය යුතුය.

"ඔයා විවාහ වෙලා ද? කියලා මගෙන් වෙනත් අය නිතරම අහනවා" යනුවෙන් මේ වසරේ දී බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහනට ඇතුළත් වී සිටින ජෙසිකා හේයස් සිය තෝරාගැනීම ගැනීම ගැන අදහස් පළ කළාය.

"මම හැම වේලාවේම කෙටි විස්තරයක් කියලා තමයි පිළිතුරු දෙන්නේ. මම කන්‍යා සොහොයුරියකට සමානයි, ක්‍රිස්තුන්වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙලා ඉන්නේ. හැබැයි මම පිටත ලෝකයේ ජීවත් වෙනවා කියා පිළිතුරු දෙනවා."

Image copyright JOE ROMIE
Image caption ක්‍රිස්තුස්වහන්සේ සමග විවාහ ගිවිසගැනීම සංකේතවත් කිරීමට අදාළ කාන්තාවට මංගල මුදුවක් ද පළඳවයි

ඇය එක්සත් ජනපදයේ දැනට සිටින "ක්‍රිස්තුන්වහන්සේගේ මනාලියන්" 254 දෙනා අතරින් කෙනෙකු බව ඇමරිකා එක්සත් ජනපදයේ කැප වූ කන්‍යාවියන්ගේ සංගමය පවසයි. හෙදියන්, මනෝවිද්‍යාඥවරියන්, ගණකාධිකාරීවරියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම කාන්තා ගිනි නිවන භටයන් ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ.

ලෝකය පුරා කැප වූ කන්‍යාවන් හාරදහසක් පමණ සිටින බව 2015 දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. කැප වූ කන්‍යාවක වීම සඳහා කතෝලික සභාව සමග බැඳීම ඇතිකරගැනීම පිණිස "ලෝකය පුරා විවිධ සංස්කෘතිවලට අයත් පුද්ගලයන්ගේ හදිසි උනන්දුවක්" දකින්නට ලැබෙන බව වතිකානය පවසයි.

කන්‍යා සොහොයුරියන් මෙන් කැප වූ කන්‍යාවන් සමාජයෙන් වෙන් වී ජීවත් වන්නේ හෝ වෙනස් ඇඳුමක් ඇඟලා ගන්නේ නැත. ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස රැකියා කරමින් ලෞකික ජීවිතයක් ගත කරති.

නමුත් පුරුෂයන් සම්බන්ධයෙන් කතෝක සභාව තුළ මෙවැනි ක්‍රියාවලියක් නොපවතී.

"මම අවුරුදු 18ක් ගුරුවරියක් විදියට සේවය කරනවා. මම දිගටම ඒ පාසලේම උගන්වනවා. ඒකෙ වෙනසක් වෙන්නේ නැහැ," එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රදේශයේ වාසය කරන ජෙසිකා හේයස් පැවසීය.

"මම කැප වූ කන්‍යාවක් වෙන්න කලින් තේරුම් ගත්තා කන්‍යා සොහොයුරියක් සමාජයේ ජීවත් වන විදියට ඉන්න අවශ්‍ය නැහැ කියලා."

Image copyright TODAY'S CATHOLIC/JOE ROMIE
Image caption අල්තාරය මත යාඥා කරන මනාලිය

ඉගැන්වීම් කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවල ඇය වැඩිපුර කාලය යොදවන්නේ පෞද්ගලික යාඥා සහ ඇදහිලි සඳහාය. ඇය සභාවේ රදගුරුවරයෙකු සමග නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු අතර, සිය ආගමික අනුශාසක සමග රැස්වීම් පැවැත්විය යුතුය.

"මගේ නිවසේ ඉඳන් සැතපුම් දෙකක් දුරින් තිබෙන දේවස්ථානයකටයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ යහළුවන්ට සහ ඥාතීන්ට ඕනෑම අවස්ථාවක උදව් කරන්න මම ලැහැස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මම ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරනවා. දවසම මම මිනිස්සු සමග ගතකරන්නේ. නමුත්, ඒ මොන දේ තිබුණත් මම ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ඒ අදාළ විශේෂ කටයුතු සිදුකරනවා."

ඇය මින් පෙර ප්‍රේම සම්බන්ධතා පවත්වා ඇති නමුත්, ඒ කිසිවකින් ඇය සම්පූර්ණ යැයි නොහැඟුණ බව පැවසීය.

"මට හිතුණේ මම විවාහ ජීවිතයකට ඇතුළත් වුණා කියලා. ඒක සාමාන්‍ය මනුස්සයෙකුට එන හැඟීමක්. ඒක නිසා මමත් සම්බන්ධතා පැවැත්වූවා .... හැබැයි කවදාවත් බරපතළ සම්බන්ධතා තිබිලා නැහැ," ජෙසිකා හේයස් පැවසුවාය.

මේ තොරතුරුද දැනගන්න:

'ස්ථීර කැපකිරීමක්'

ඈත අතීතයේ ක්‍රිස්තියානි සමයේ සිට කන්‍යාවෝ සභාවේ කොටසක් වී සිටිති. එමෙන්ම, පළමු සියවස් තුනේදී බොහෝ දෙනෙකු ආගමට ඇති කැපවීම නිසා මිය ගියහ.

රෝමයේ ජීවත් වූ ඇග්නස් ඒ අතරින් කෙනෙකි. ආගමට ඇති ලැදියාව නිසාම ඇය ඝාතනය වූ බව වාර්තා වේ.

Image copyright WIKICOMMONS
Image caption සිය කන්‍යාභාවය රැකගැනීමට කළ සටනේ දී ඇග්නස් ඝාතනය වූ බව වාර්තා වේ

ආශ්‍රම ඇසුරේ ගෙවන ආගමික ජීවිතය ගැන උනන්දුව වැඩි වීමත් සමග මධ්‍යම යුගයේ දී පෙර පැවති ක්‍රියාකාරකම් වෙනස් විය. දේවස්ථානයේ වාසය කරන කාන්තාවකගේ කන්‍යාභාවය ගැන තීරණය ඇය සතුවන බව 1971 දී වතිකානය නිකුත් කළ 'Ordo consecrationis virginum' නම් ලේඛනයේ සඳහන් වේ.

සිය ආගමික අනුශාසක හමු වී "නිවැරදි ප්‍රශ්නය අසන තුරු" ජෙසිකා හේයස් කැප වූ කන්‍යාවක් වීමට සිතා නොසිටි බව පැවසුවාය.

2013 දී තීරණයකට එළඹි ඇය, වසර දෙකකට පසු 36 වැනි වියට එළඹෙද්දී කැප වූ කන්‍යාවක් බවට පත් වූවාය.

"මට ඉස්සර තිබුණා වගේම වගකීම් බොහොමයක් ඉටු කරන්න තිබුණත්, මෙය යම්කිසි වෙනසක්. මොකද ස්වාමීන්වහන්සේ මගේ සහකරු වශයෙන් සිටීම යහළුවෙකු විදියට ඉන්නවාට වඩා සම්පූර්ණයෙන් වෙනස්."

Image copyright TODAY'S CATHOLIC/JOE ROMIE
Image caption "මගේ යහළුවන්, පවුලේ අය සහ මගේ සිසුන්ද මේ උත්සවයට පැමිණ සිටියා"

ලිංගිකත්වය මත පදනම් වී ඇති සමාජයක, කන්‍යාවක් වශයෙන් දිවි ගෙවීම අභියෝගයක් විය හැකිය. ඔවුන් දිවි තිබෙන තුරු සම්පූර්ණයෙන් කායික සම්බන්ධතාවලින් වැළකී සිටිය යුතුය.

"මම හිතන්නේ අමාරුම දේ තමයි අන් අය අපි ගැන වැරදියට හිතන එක සහ අපේ තීරණය සංස්කෘතියට පටහැණියි කියා දකින එක," ජෙසිකා හේයස් පැවසීය.

"මට ගොඩක් තේරෙනවා. ඒ කියන්නේ ඔයා තනි වුණ කාන්තාවක්." වැනි දේ සමහරු මගෙන් අහනවා. ඒ වෙලාවට මම පැහැදිලි කරනවා මගේ ප්‍රධාන සම්බන්ධය ස්වාමීන්වහන්සේ සමග සහ මගේ ශරීරය මම ඔහුට දීලා තිබෙන්නේ කියලා."

ශාරීරික කන්‍යාවන්?

පසුගිය ජූලි මස කැප වූ කන්‍යාවන් සම්බන්ධයෙන් නව නිර්දේශ මාලාවක් හඳුන්වා දීමට වතිකානය පියවර ගත්තේය.

කෙසේ වුවත්, කැප වූ කන්‍යාවන් බවට පත්වන උත්සවය දක්වා කාන්තාවක සිය කන්‍යාභාවය රැක ගත යුතුද යන්න සම්බන්ධයෙන් නිශ්චිත උපදෙසක් නැත.

Image caption "Ecclesia Sponsae Imago" නම් වතිකානුවෙන් නිකුත් කළ ලේඛනය

කන්‍යා සොහොයුරියන් ආගමික දිවියකට ඇතුළු වන දින සිට සංයමයකින් යුතුව කටයුතු කරන බවට පොරොන්දු වේ. නමුත් ක්‍රිස්තුන්වහන්සේගේ මනාලියන් දිවි තිබෙන තුරු කන්‍යාවන් ලෙස සිටීම බලාපොරොත්තු වේ.

වතිකානයෙන් නිකුත් කළ නිර්දේශ මාලාවේ 88 වෙනි වගන්තියට අනුව "ඇයගේ සිරුර සංයමයකින් යුතුව තබා ගැනීම හෝ නිර්මල ආදර්ශමත් චරිතයක් වීම වැදගත්" යැයි සඳහන් වී ඇතත්, එය "අත්‍යවශ්‍ය" කාරණයක් ලෙස දක්වා නොමැත.

වෙනත් ආකාරයකට පවසන්නේ නම්, කන්‍යාවක් වීම තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවන්නේය.

Image copyright Getty Images
Image caption ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

මෙම නිර්දේශ ගැන තමන් "කනගාටුවට පත් වෙන," බව ඇමරිකා එක්සත් ජනපදයේ කැප වූ කන්‍යාවියන්ගේ සංගමය පවසයි.

"කැප වූ කන්‍යා ජීවිතයකට ඇතුළු වීමට ශාරීරික ලෙස කන්‍යාවක් වීම තවදුරටත් වැදගත් නැහැ කියා මව් පල්ලියෙන් පැවසීම ගැන ඇත්තෙන්ම අපි කම්පනයට පත් වුණා," යනුවෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී තිබිණි.

නිර්දේශ සහිත ලේඛනයේ "වැඩිදුර පැහැදිලි කිරීම්" අවශ්‍ය බව පවසන ජෙසිකා හේයස්, කෙසේ හෝ කැප වූ කන්‍යාවන් ගැන කතෝලික සභාවේ අවධානය යොමු වීම ගැන සතුටු වන බව ද පැවසීය.

Image copyright JOE ROMIE

"කොහොම වුණත්, ලේඛනයේ සඳහන් වෙනවා ඉල්ලුම්කරුවන් විවාහ වී සිටි අය වෙන්න බැහැ වගේම සමාජයෙන් හෝ වෙනත් බරපතළ ලෙස සිය නිර්මලත්වයට කැළලක් ඇති වී තිබෙන්න බැහැ කියලා," ඇය පැවසුවාය.

මෙයින් බලාපොරොත්තු වන්නේ කතෝලික කාන්තාවන් සභාව සමග ඇති බැඳීම වැඩි කර ගැනීම බව ඇය අවසාන වශයෙන් සඳහන් කළාය.

"සභාව සමග බැඳීම් වැඩිවෙමින් තිබෙනවා, එයට හේතුව දෙවියන් වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවුණ පිරිසක් අවශ්‍ය වීමයි. සභාවට දැන් ඕනෙ වෙලා තිබෙන්නේ ඒකයි."