දූෂණවලට වරදකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට යළි සිර දඬුවම්

Nawaz Shariff
ඡායාරූප ශීර්ෂ වැකිය,

අධිකරණය පිටත සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර තිබේ

තම සම්පූර්ණ වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත ඉස්ලාමාබාද්හි පිහිටි දූෂණ විරෝධී අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් නියම කර ඇත.

අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිවරයා, පසුගිය ජූලි මස වෙනත් දූෂණ චෝදනාවකට සිර ගත කරනු ලැබිණි. නමුත් පසුව ඉස්ලාමාබාද්හි ඉහළ අධිකරණයක් විසින් වසර දහයක අත්හිටවූ සිර දඬුවමක් සමග ඔහු ඇප මත නිදහස් කරන ලදී.

නවාස් ෂරීෆ් සිරගතව සිටින අතරතුර පැවැත්වූ මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජයට පත් විය.

හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නියෝජනය කරන පීටීඅයි පක්ෂයට වැඩි ආසන ගණනක බලය හිමි වූ අතර, දූෂණය මැඩලීම ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

නවාස් ෂරීෆ්

සඳුදා (දෙසැම්බර් 24) තීන්දුව ලබා දෙන අවස්ථාවේ අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

මේ තොරතුරුද කියවන්න:

නවාස් ෂරීෆ් නැවත සිරගත කිරීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් පවා අඩපණ කරන බවට ඔහුගේ ආධාරකරුවෝ තර්ජනය කරති.

කෙසේවෙතත් අධිකරණය පිටත සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර තිබේ.

තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය පළකරමින් නවාස් ෂරීෆ් කියා සිටියේ දේශපාලන පෙළඹවීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවය.

සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක අයිතිය සහ ආදායම් තහවුරු කිරීමට අපොහොසත් වීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මාරියම් නවාස් ෂරීෆ්

ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් මින් පෙර අධිකරණයක් විසින් ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය.

එවර ඔහුගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට ද වසරක සිර දඬුවමක් නියම කෙරිණ. නමුත් ඔවුන් සියලුදෙනා ඇප මත මුදාහැරිණි.

එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුව හඳුන්වා ඇත්තේ 'Avenfield Reference' යනුවෙනි.

ලන්ඩනයේ නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි 2015 දී පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි.

තවත් තොරතුරු: