තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152 ක් "අතුරුදහන්"

Image copyright Getty Images

සංචාරක වීසා මත පසුගිය සතිය තුළ තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152 දෙනෙකු අතුරුදහන් වී ඇති බව තායිවාන බලධාරීහු පවසති.

අදාළ පුද්ගලයන් සොයා මෙහෙයුම් දියත් කර ඇත.

දෙසැම්බර් 21 වෙනි දින සිට 23 වෙනිදා දක්වා කාලය අතරතුර දකුණු දිග නගරයක් වන කවෝශිංග් හරහා මෙම සංචාරකයන් පිරිස තායිවානයට ඇතුළු වී තිබේ.

තායිවානය තුළ නීති විරෝධීව රැකියාවල යෙදීමේ අදහසින් මොවුන් පැමිණෙන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින් වියට්නාමය ඇතුළු ආසියානු රටවල් කීපයක සංචාරක වීසා ගාස්තු 2015 වසරේ සිට ඉවත් කිරීමට තායිවානය පියවර ගත්තේය.

නමුත්, එයින් පසු සංචාරකයින් අතුරුදන් වීමේ විශාලතම සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.

අතුරුදහන් වූ සංචාරකයන් සහ "මෙම සිද්ධිය පිටුපස සිටින පිරිස" ගැන සොයා බැලීමට කණ්ඩායමක් පත්කර ඇති බව තායිවානයේ ජාතික ආගමන දෙපාර්තමේන්තුව පැවසීය.

ඔවුන් කිසිවෙකු හෝ අත්අඩංගුවට පත් වුවහොත්, තායිවානයෙන් පිටුවහල් කිරීමට පියවර ගන්නා අතර, වසර තුනේ සිට පහ දක්වා කාලයක් තායිවානයට ඇතුළු වීම තහනම් වනු ඇත.

මේ සම්බන්ධයෙන් තායිවානය සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බව පවසන වියට්නාම විදේශ අමාත්‍යාංශය, එමගින් සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇති නොවීම පිණිස කටයුතු කරමින් සිටින බවත් ඒඑෆ්පී පුවත් සේවය සමග පවසා තිබුණි.

තායිවානය, ආසියානු කලාපයේ ඉහළම ඒක පුද්ගල ආදායම සහිත රටකි.