තල්මසුන් දඩයම නැවත අරඹන්න සූදානම් වන ජපානය

Whaling in Japan Image copyright Getty Images

ලබන වසරේ ජූලි මස සිට තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් වීම ගැන ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

තල්මසුන් සංරක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ (IWC) සාමාජිකත්වයෙන් ජපානය ඉවත් වන බව දැනුම් දී ඇත.

සමහර තල්මසුන් වර්ග වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් 1986 දී වාණිජමය ක්‍රියාකාරකම් සඳහා තල්මසුන් දඩයම් කිරීම තහනම් කිරීමට ඒ පිළිබඳ ජාත්‍යන්තර කොමිසම පියවර ගත්තේය.

1951 සිට මෙම කොමිසමේ සාමාජිකත්වය දරන ජපානය පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බවය.

ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලබන්නේ "විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන්" ලෙසය. නමුත් ජපානය තුළ සිදු කෙරෙන තල්මසුන් දඩයම දැඩි ලෙස හෙලා දැකීමට ලක්ව ඇති අතර එම "මාරක පර්යේෂණය" සීමා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2014 වසරේදී කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සීමා පනවනු ලැබීමෙන් පසු නව පර්යේෂණ සැලැස්මක් නිකුත් කරමින් ජපානය කියා සිටියේ සතුන් අල්ලා ගැනීම සහ විශ්ලේෂණය කිරීම ඇන්ටාක්ටික් කලාපයේ පරිසර පද්ධතිය වටහා ගැනීමට "විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත්වන" බවය.

Image copyright AFP
Image caption තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බව ජපානය පවසයි

තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහන් ලෙස හුවා දැක්වීම අනුමත නොකළ හේග් ජාත්‍යන්තර අධිකරණය 2014 දී එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේය.

තල්මසුන් දඩයම් කිරීමට ගත් තීරණය හේතුවෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි පරිසරවේදීයෝ පවසති.

මේ අනුව, තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසම යටතේ සංරක්ෂිත 'මින්ක් (Minke)' තල්මසුන් ඇතුළු ඕනෑම වර්ගයක් දඩයම් කිරීමට ජපානයට නිදහස ලැබේ.

මේ තොරතුරුද කියවන්න:

ජපානය නිවේදනය කළේ කුමක්ද?

වාණිජමය තල්මසුන් දඩයම ජපාන මුහුදු සීමා තුළ පමණක් සිදු කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක යොෂුහිදේ සුගා පැවැසීය.

තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසම, ඔවුන්ගේ එක් අරමුණක් වන වාණිජමය තල්මසුන් දඩයම පිළිබඳ වැඩි අවදානයක් යොමු නොකරන බවට ජපානය චෝදනා කරයි.

Image copyright AFP
Image caption දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජපානය පුරා තල්මසුන් ආහාරයට ගැනීම වැඩි වූ අතර, එය ප්‍රධාන මස් වර්ගය බවට පත් විය

සංරක්ෂණය කළ යුතු තල්මසුන් ගණන ගැන පමණක් ඔවුන් අවධානය යොමු කර සිටින බව ජපානය පවසන්නේය.

ජපානයේ වෙරළාසන්න ගම්මාන කිහිපයක වැසියෝ වසර සිය ගණනක සිට තල්මසුන් දඩයමේ යෙදෙති. නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජපානය පුරා තල්මසුන් ආහාරයට ගැනීම වැඩි වූ අතර, එය එරට ප්‍රධාන මස් වර්ගය බවට පත් විය.

පසුගිය වසර කීපය තුළ තල්මසුන්ගේ මස් පරිභෝජනයේ වැඩිවීමක් දක්නට ලැබේ.

නමුත්, ජපානයේ අලෙවි වන මස් වර්ගවලින් තල්මසුන්ගේ මස් ඇත්තේ 0.1%ක් පමණක් බව එරට පළ වෙන 'අසාහි' පුවත්පතේ සඳහන් වී තිබිණි.

තවත් තොරතුරු

ප්‍රතිචාර

තල්මසුන් දඩයම් කිරීමට ගත් තීරණය පිළිබඳ "ඉතාමත් කලකිරීමට" පත්වන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමති සහ පරිසර ඇමති එක්ව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

"සෑම ආකාරයකම වාණිජ තල්මසුන් දඩයම මෙන්ම 'විද්‍යාත්මක' පර්යේෂණ සඳහා යැයි පවසමින් තල්මසුන් දඩයම් කිරීමට ඔස්ට්‍රේලියාව විරුද්ධයි" ලෙස එම නිවේදනයේ තවදුරටත් සඳහන් වී තිබිණි.

මෙම තීරණය නැවත සලකා බලන ලෙස ජපානයේ පරිසරවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් රජයෙන් ඉල්ලා සිටිති. ජපානය 2019 ජූනි මස G20 සමුළුවේ සත්කාරක රට වන අතර, එහි දී ජාත්‍යන්තරයෙන් විවේචන එල්ල විය හැකි බව ද ඔවුහු පවසති.

Image copyright AFP
Image caption ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලබන්නේ "විද්‍යාත්මක වැඩසටහන්" ලෙසය

තල්මසුන් දඩයම් කරන වෙනත් රටවල් තිබේ ද?

ජපානය හැර තවත් රටවල් ගණනාවක් තල්මසුන් දඩයම් කරන බව තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන WDC පුණ්‍යායතනයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

නෝර්වේ සහ අයිස්ලන්තය ද මස් පිණිස තල්මසුන් දඩයම් කරති.

ග්‍රීන්ලන්තය, රුසියාව, එක්සත් ජනපදය වැනි රටවල ආදිවාසී ප්‍රජා අතර ද තල්මසුන් දඩයම මද වශයෙන් සිදුවේ.

එහෙත් විද්‍යාත්මක පර්යේෂණයක් වශයෙන් හුවාදක්වමින් තල්මසුන් දඩයම් කිරීම සඳහා ඇන්ටාක්ටික් සාගරය වෙත නෞකා යවනු ලබන දැනට පවතින එකම රට ජපානයය.