බංග්ලාදේශය: අගමැතිනි ෂෙක් හසීනා තෙවන වරටත් බලයට පත් වෙයි, "අක්‍රමිකතා" ගැන චෝදනා

බංග්ලාදේශයේ අගමැතිනි ෂෙක් හසීනා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බංග්ලාදේශයේ අගමැතිනි ෂෙක් හසීනා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තෙවන වරටත් සිය බලය තහවුරු කරගැනීමට සමත් වී ඇති බව එරට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඇය නියෝජනය කරන අවාමි ලීග් පාලක පක්ෂය පෙර මැතිවරණවලට වඩා වැඩි ආසන ගණනක් මෙවර හිමිකරගත් අතර, පාර්ලිමේන්තු ආසන තුන්සියයෙන් 288ක් ජයග්‍රහණය කර ඇත.

දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති කඩකරමින් සිදු වූ මෙම මැතිවරණය "විහිළුවක්" බව විරුද්ධ පක්ෂය පවසයි.

මැතිවරණය නැවත පවත්වන්නැයි ඉල්ලා සිටින විරුද්ධ පක්ෂයට හිමි වූයේ පාර්ලිමේන්තු ආසන හතක් පමණි.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 350ක් වන අතර, එයින් පනහක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබේ.

"මේ ප්‍රතිඵලය විහිළුවක්, ඡන්දය නැවත පවත්වන්න කියලා අපි මැතිවරණ කොමසාරිස්ට බල කරනවා," යැයි විරුද්ධ පක්ෂයේ නායක කමල් හොසේන් පැවසීය.

"අපක්ෂපාතී ආණ්ඩුවක් යටතේ හැකි ඉක්මනින් නැවත මැතිවරණයක් පවත්වන්න කියලා අපි බල කරනවා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රට පුරා මැතිවරණ නීති කඩකිරීම් රාශියක් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව බංග්ලාදේශ මැතිවරණ කොමසාරිස් රොයිටර් පුවත් සේවයට පැවසුවේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන කාලය තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ සාමාජිකයන් අතර සිදු වූ ගැටුම්වලින් 17 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

චෝදනා මොනවාද?

2009 වසරේ පටන් බංග්ලාදේශය කරනු ලැබුවේ ෂෙක් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය විසිනි.

කලින් පුරවන ලද ඡන්ද පෙට්ටි යොදාගනිමින් අවාමි ලීගය මැතිවරණ දූෂණවල යෙදුන බවට එරට ප්‍රධාන පෙළේ විරුද්ධ පක්ෂයක් චෝදනා කර තිබුණි.

අවාමි ලීගය තරග වැදුණු ආසන 300 අතරින් ආසන 221 කම "අක්‍රමිකතා" සිදු වී ඇති බවට බංග්ලාදේශ් ජාතික පක්ෂයේ (BNP) ප්‍රකාශකයෙක් චෝදනා කළේය.

ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වීමට මඳකට පෙර චිතගොං නගරයේ සිටි ඡන්ද මධ්‍යස්ථානයක, කලින් පුරවන ලද ඡන්ද පෙට්ටි පවතින ආකාරය බීබීසී වාර්තාකරුවෙකුට දක්නට ලැබිණ. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි ප්‍රධාන නිලධාරියා කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

එම ඡන්ද මධ්‍යස්ථානයේ මෙන්ම එම නගරයේ තවත් ඡන්ද මධ්‍යස්ථාන කීපයකම නිරීක්ෂණ කටයුතුවල් යෙදී සිටිනු දක්නට ලැබුනේ පාලක පක්ෂයේ නියෝජිතයන් පමණි.

ඡන්ද දායකයන් බියවැද්දීම පිළිබඳව බරපතල චෝදනා, ඡන්ද මධ්‍යස්ථාන තුළ විපක්ෂයේ නියෝජිතයන්ට සීමා පැණවීම් සහ අපේක්ෂකයන් පිරිසක් නැවත ඡන්දයක් ඉල්ලා සිටීම හේතු කොට ගෙන මෙම මැතිවරණයේ විශ්වසනීයත්වය පිළිබඳව බරපතල අවධානය පළ වී තිබෙන බව පවසමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධුක්ෂිකා මීනක්‍ෂි ගංගුලි ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබුණි.

ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමටත් පෙර ප්‍රධාන විපක්ෂ සංධානයේ අපේක්ෂකයන් අවම වශයෙන් 47 දෙනෙකුවත් එම ස්ථානවලින් ඉවත්ව ගොස් ඇත්තේ ඡන්ද දූෂණ සහ බියවැද්දීම් පිළිබඳව චෝදනා කරමිනි.

සාධාරණ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට ක්‍රියාධරයන්, නිරීක්ෂකයන් සහ විපක්ෂය අනතුරු අඟවමින් සිටියදී, පාලක පක්ෂය චෝදනා කර සිටියේ විපක්ෂය විසින් අභූත චෝදනා ඉදිරිපත් කරන බවටය.

"එක් පැත්තකින් ඔවුන් චෝදනා එල්ල කරනවා. අනිත් පැත්තෙන් අපේ පාක්ෂිකයන්ට සහ සහ නායකයන්ට ඔවුන් පහර දෙනවා. මේක තමයි මේ රටේ ඛේදවාචකය," යනුවෙන් ෂෙක් හසීනා පසුගිය සිකුරාදා බීබීසීයට ප්‍රකාශ කළාය.

මේ මැතිවරණය වැදගත් ඇයි?

මිලියන් 160 ක ජනගහණයකින් යුත් මුස්ලිම් බහුතරයක් සහිත බංග්ලාදේශවාසීන් දේශගුණික විපර්යාස නිසා ඇතිවිය හැකි අනතුරුවලට මෙන්ම ඉස්ලාමීය සටන්කාමීත්වය, දරිද්‍රතාව සහ දූෂණය වැනි බරපතල ප්‍රශ්නවලට මුහුණදෙමින් සිටිති.

මියන්මාරයේ සිට ලක්ෂ ගණනක් වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මෙරටට පලායාමත් සමග බංග්ලාදේශය කෙරෙහි මෑතදී ජාත්‍යන්තර අවධානය ද යොමු වී පැවතින.

මැතිවරණය කරා යොමුවෙමින් තිබියදී විරුද්ධවාදීන් මැඬලීම සහ විපක්ෂ ආධාරකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා දියත්වීම පිළිබඳව විචාරකයන් පවසන්නේ දස වසරක පාලනය තුළ බංග්ලාදේශය තවදුරටත් ඒකාධිකාරී වී ඇති බවය.

තරග වැදුනෝ කවරහුද?

ෂෙක් හසීනාගේ දීර්ඝ කාලීන විරුද්ධවාදිනිය වූ ඛලිඩා සියා මේ වසර මුලදී සිරගත කරනු ලැබුවේ දූෂණ චෝදනා මතය. ඛලිඩා සියා පවසන්නේ එම චෝදනා දේශපාලනික අරමුණු තකා ගොනු කර ඇති බවය.

ඇය සිරගතව සිටින අතරතුර විපක්ෂ කණ්ඩායම් ඒකරාශී කොට ඊට නායකත්වය ලබා දෙනු ලැබුවේ ඇයට පක්ෂපාතී නීතිඥ කමාල් හොසේන් විසිනි. අවාමි ලීගයේ හිටපු ඇමතිවරයෙකු වන ඔහු ෂෙක් හසීනාගේ හිටපු ආධාරකරුවෙකි.

'ජාතියෝ ඔයික්යෝ' පෙරමුණ නමින් හැඳින්වෙන මෙම විපක්ෂ සන්ධානයට ඛලිඩා සියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂය ද ඇතුළත්ය. කෙසේ නමුත් බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සකස් කළ නීතිඥවරයා ද වන කමාල් හොසේන් මෙවර මැතිවරණයට තරග වැදුනේ නැත. ඔහු මේ වන විට 81 වැනි වියේ පසුවෙයි.

2014 වසරේ පැවති මහ මැතිවරණය බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් වර්ජනය කරන ලදි. දස වසරකට පසු, සියලුම ප්‍රධාන පක්ෂ තරග වැදුණු මහ මැතිවරණය බවට පත්වූයේ ඉරිදා පැවති මහ මැතිවරණයයි.

මේ තොරතුරුත් දැනගන්න: