ඈත අභ්‍යවකාශයෙන් විහිදුණු ගුවන් විදුලි සංඥාවක් කැනඩා දුරේක්ෂයක සටහන් වෙයි

Image copyright Getty Images
Image caption විදුලි සංඥාවක් නිරුපනය කිරීමට නිර්මාණය කරන ලද්දකි

ඉතාමත් ඈතින් පිහිටි මන්දාකිණියකින් (galaxy) විහිදුණු අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.

අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.

ආලෝක වර්ෂ බිලියන 1.5 ක් එපිටින් පිහිටි මූලාශ්‍රයක සිට පැමිණි FRB ලෙස සැලකෙන වේගවත් ගුවන් විදුලි තරංග 13 ක් නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියකි.

වෙනත් දුරේක්ෂයකට මෙවැනි සිද්ධියක් මීට පෙර වාර්තා වී තිබුණු අතර එය ද එක් වරක් පමණි.

මේ ගැනත් දැනගන්න:

"මේ සිද්ධිය පසුපස තවත් බොහෝ විස්තර තියෙන්න පුළුවන්," බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ඉන්ග්‍රිඩ් ස්ටෙයාර්ස් (Ingrid Stairs) පවසයි.

"මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රෙහේළිකාවට විසඳුම් හොයන්න ඒ කියන්නේ, මේ සංඥා නිකුත් වුණේ කොහෙන්ද? ඒකට හේතු මොනවා ද? යන ප්‍රශ්නවලට පිළිතුරු හොයද්දී තවත් මූලාශ්‍ර හමුවිය හැකියි."

මෙම සංඥා පිළිබඳව සටහන් වී ඇත්තේ, කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාහි පිහිටි CHIME නමැති දූරේක්ෂයේය. එය මීටර් 100 ක් දිගින් යුත් අර්ධ සිලින්ඩරාකාර ඇන්ටෙනා හතරකින් සමන්විත දුරේක්ෂයකි.

එමගින් දිනපතා උතුරු අහස සම්පූර්ණයෙන් නිරීක්ෂණය කෙරේ.

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන මෙම දුරේක්ෂයේ ගුවන් විදුලි සංඥා 13 ක් විහිදුණු බවට සටහන් වී තිබේ.

තවදුරටත් කියවන්න:

Image copyright CHIME EXPERIMENT
Image caption කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාහි පිහිටි CHIME දූරේක්ෂය

මේ සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණයේ විස්තර Nature සඟරාවේ පළ කර තිබේ.

"පළමු සංඥා නිකුත් වීමට අමතරව දෙවන සංඥා නිකුත් කිරීමක් සම්බන්ධයෙනුත් අපි කරුණු හොයාගෙන තියෙනවා. ඒ සංඥා පළමු සංඥාවලට බෙහෙවින් ම සමානයි," කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ශ්‍රීහර්ෂ් තෙන්ඩුල්කාර් (Shriharsh Tendulkar) පැවසීය.

FRB යනු විශ්වයෙන් නිකුත් වන ගුවන් විදුලි සංඥාවල කෙටි සහ දීප්තිමත් ආලෝක කිරණ ලෙස හැඳින්වේ.

මේ වන විට වේගවත් ගුවන් විදුලි සංඥා 60 ක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. ඔවුන් විශ්වාස කරනුයේ, එවැනි ගුවන් විදුලි සංඥා දිනකට දහස් ගණනක් නිකුත් වනු ඇති බවය.

ඊට හේතු විය හැකි නියමයන් රැසක් පවතී.

තවත් පුවත්:

අතිශය ප්‍රබල කාන්දම් බලැති ක්ෂේත්‍රයක නියුට්‍රෝන තාරකාවක් වේගයෙන් ස්පන්ධනය වීම, නියුට්‍රෝන තාරකා දෙකක් ඒකාබද්ධ වීම සහ පිටසක්වළ අභ්‍යවකාශ යානාවලින් නිකුත් වන සංඥා (මෙය ඉතා සුළු කොටසක් විශ්වාස කරන හේතුවකි) යන හේතු ඒ අතර වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර