ලිංගික අපයෝජන නිසා සිරබත් කන ඉන්දීය ස්වාමිවරයෙකු මාධ්‍යවේදියෙකු ඝාතනය කළ බව තහවුරු වෙයි

Image copyright AFP

ලිංගික අපචාර චෝදනාවකට වැරදිකරු වී සිරගත වී සිටින ඉන්දීය ස්වාමිවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු 2002 වසරේදී මාධ්‍යවේදියෙකු ඝාතනය කළ බවට ද වැරදිකරු වී තිබේ.

දෙරා සාචා සවුදා නම් ගුරුකුලයක නායකයා වූ ගුර්මීට් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) නමැත්තාට සිය කාන්තා බැතිමතුන් දෙදෙනෙකු දූෂණය කිරීම හේතුවෙන් 2017 වසරේදී වසර 20ක සිර දඬුවමක් පැනවිණි.

අදාළ මාධ්‍යවේදියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනවාරි 17 වන දා ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය.

පුවත්පත් සංස්කාරකවරයෙකු වූ රාම් චන්දර් චත්‍රපති ඝාතනය කරනු ලැබුවේ, දේරා ගුරුකුලයේ මූලස්ථානයේ සිදුවූ අපචාර සිද්ධි සම්බන්ධයෙන් කළ අනාවරණයකින් පසුවය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් තිදෙනෙක් වැරදිකරුවන් බවට පත්ව සිටිති. ඒ, කුල්දීප් සිං, නිර්මාල් සිං සහ ක්‍රිෂන් ලාල්ය.

මෙම නඩු විභාගය පැවති හර්යානාහි පංච්කුලා අධිකරණයේ නඩු විභාගයට බන්ධනාගාරයේ සිට ඔහු සහභාගි වූයේ, සජීවී වීඩියෝ දර්ශන මාර්ගයෙනි.

මෙම නඩු විභාගය පැවැත්වෙන අතරතුර හර්යානා ප්‍රාන්තයට සහ දේරා බැතිමතුන් වැඩි වශයෙන් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ආරක්ෂක රැකවල් යොදා තිබිණි.

මේ ගැනත් දැනගන්න:

Image copyright Getty Images

2017 වසරේදී ඔහුට එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දැඩි ප්‍රචණ්ඩත්වයක් ඇති වූ අතර ඉන් පුද්ගලයින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මෙම තීන්දුවෙන් පසුව අදාළ ආගමික මූලස්ථානයේදී තමන් ලිංගික අපයෝජනයට ලක්වූ බව පවසමින් කාන්තාවන් 50 දෙනෙක් පමණ පැමිණිලි ඉදිරිපත් කළහ.

තවත් පුවත්:

'සම්පූර්ණ සත්‍යය'

ආධ්‍යාත්මික නායකයෙකු ලෙස තමන් විසින් ම හඳුන්වා ගන්නා ලද 51 හැවිරිදි රාම් රහීම් සිංගේ ගෞරවය බිඳ වැටුණේ, 2002 වසරේදී පුවත්පතක පළවූ ලිපියක් හේතුවෙනි.

රාම් රහීම් සිංගේ නම හෙළි නොකළ බැතිමතෙකු විසින් එම ලිපිය ලියා තිබිණි. එය පළ කරන ලද්දේ, චත්‍රපති (Chhatrapati) නමැති මාධ්‍යවේදියා සංස්කරණය කළ හින්දි පුවත්පතක් වන පූරා සච් (සම්පූර්ණ සත්‍යය) නමැති පුවත්පතේය.

ඒ මගින් දේරා මූලස්ථානයේ සිදුවූ ලිංගික අපචාර ගැන විස්තර දක්වා තිබිණි.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී චත්‍රපතිගේ පුත්‍රයා වන අන්ෂුල් චත්‍රපති The Print පුවත්පතට පවසා ඇත්තේ, "යම් දවසක ඔබට කවුරුන් හෝ වෙඩි තබනු ඇත," යනුවෙන් සිය පියාගේ මාධ්‍ය මිතුරන් අනතුරු අඟවා තිබූ බවය.

එසේ මිතුරන් කළ අනතුරු ඇඟවීමට ඔහු දුන් පිළිතුර වී ඇත්තේ, "නියම මාධ්‍යවේදීන් වෙඩි ප්‍රහාර ලබන අතර සපත්තු ප්‍රහාර නොලබන," බවය.

අදාළ ලිපිය පළ කර දින 5 කට පසු එනම්, 2002 වසරේ ඔක්තෝබර් 24 වන දා දේරා බැතිමතුන් විසින් චත්‍රපතිගේ නිවස අසලදී ඔහු ඝාතනය කරනු ලැබිණි.

කෙසේ වෙතත්, අදාළ පුවත්පතෙහි පළවූ ලිපිය හේතුවෙන් දේරා මූලස්ථානයේ සිදුවූ බව කියන අපචාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරිණි.

සිය පියා ඝාතනය වන විට 21 වන වියේ පසුවූ ඔහුගේ පුත් අන්ෂුල් පූරා සච් පුවත්පත සියතට ගෙන රාම් රහීම් සිංට එරෙහි අපචාර චෝදනා පිළිබඳව ලිපි පළ කළේය.

"සත්‍යය වෙනුවෙන් මගේ තාත්තා ඔහුගේ ජීවිතය කැප කළා," 2017 වසරේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසීය. "ඔහුගේ කැප කිරීම අපතේ යන්න මම ඉඩ තියන්නේ නැහැ."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර