ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පාලනය වන Nike පාවහන්

Nike Smart shoes Image copyright NIKE
Image caption නයිකි ස්මාර්ට් පාවහන්

Nike (නයිකි) ආයතනය විසින් ලේස් පටි ස්‌වයංක්‍රීයව ක්‍රියා කරන පාවහන් යුගලක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය මගින් ලේස් පටි පාලනය කර පාවහන්, පාදයේ හැඩයට සරිලන ආකාරයෙන් සකස් කර ගත හැකිය.

මෙය පාවහන් නිෂ්පාදනයේ අනාගතය වෙනුවෙන් සිදු වූ නවතම පෙරළිය ලෙස හැඳින්වෙන අතර, Back to the Future Part II (බැක් ටු ද ෆියුචර් පාර්ට් 2) නම් ප්‍රබන්ධ කතා වස්තුවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ සිනමා පටයේ එක් චරිතයක් මෙවැනි පාවහන් යුගලක් පැළඳ සිටියේය.

Nike ආයතනයට එය සැබෑ ලෝකයට හඳුන්වා දීමට හැකි විය.

ඇමරිකානු ඩොලර් 350කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 64,000ක් පමණ) මිල දී ගත හැකි මෙම ස්වයංක්‍රීය පාවහන් වර්ගයේ ලේස් ක්‍රියාත්මක කිරීමට විශේෂ බොත්තමක් සවි කර නොමැත.

සජීවී වීඩියෝ පළ කළ හැකි Twitch සමාජ මාධ්‍ය ජාලය හරහා මෙම පාවහන් යුගල එළිදක්වන ලදී.

"මෙවැනි සපත්තු ක්‍රීඩකයන් අතර ඉතාමත් ජනප්‍රිය වීම හේතුවෙන්, අපි මේ අලුත් ම නයිකි සපත්තුව ප්‍රවර්ධනය කරන්න පළමුව පැසි පන්දු ක්‍රීඩාව යොදා ගත්තා" යැයි නයිකි ආයතනයේ නව නිර්මාණ පිළිබඳ අධ්‍යක්ෂ එරික් අවාර් පැවසීය.

"සාමාන්‍යයෙන් පැසි පන්දු තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුගේ පාදයේ හැඩය නිතර වෙනස් වෙනවා. මේ වගේ වෙලාවට සපත්තුවේ ලේස් පටි බුරුල් කර ලේ ගමනාගමනය වැඩි කරන්න ඕනේ. ඒ වගේ ම නැවතත් ලේස් පටි තද කර තරගයට අවතීර්ණ විය යුතුයි. ලේස් පටි ස්වයංක්‍රීයව පාලනය වන සපත්තු නිසා මේ කාර්යය පහසු වෙනවා."

පාවහන් යුගලයේ ලේස් පටි එක් වරක් තම පාදවලට සරිලන ප්‍රමාණයට සකස් කර තැබූ පසු එය සිය ස්මාර්ට් ජංගම දුරකතනයේ ඇප් එකෙහි සටහන් වන අතර, පසුව එය පාලනය කළ හැකිය. ඉන්පසු නොයෙක් අවස්ථාවන්හිදී තමන්ට රිසි පරිදි ලේස් තද කිරීම හෝ ලිහිල් කර ගැනීමේ ක්‍රියාකාරකම් සියල්ල එකී ඇප් එකෙහි ගබඩා වේ.

යම් ක්‍රීඩා තරගයක අවස්ථාවට ඔබින ලෙස පාවහන් යුගලයේ ලේස් වෙනස් විය යුතු ආකාරය ස්මාර්ට් ජංගම දුරකතනයේ ඇප් එකට ඇතුළත් කර තැබිය හැකිය.

තරගයේ විවේක කාලයේදී ලේස් ලිහිල් වීමටත් නැවත තරගයට අවතීර්ණ වන විට ඒවා තද වීමටත් හැකි පරිදි වේලාව සහ අදාළ ක්‍රියාකාරකම ඇප් එකෙහි ගබඩා කර තැබීමේ හැකියාව ලැබේ.

මෙම පාවහන් පැළඳ ගත් විට එහි සවිකර තිබෙන මෝටරයෙන් සහ ගියරවලින් පාදයට අවශ්‍ය තෙරපුම හඳුනාගනු ලබයි.

Image copyright NIKE
Image caption "ලේස් එන්ජිම" සපත්තුවේ රෙදි අතර රඳවා ඇති බව නයිකි සමාගම පවසයි

අදාළ ඇප් එකෙහි දත්ත ගබඩා වන අතර, ක්‍රීඩකයන්ට සිය කැමැත්ත අනුව එම දත්ත නයිකි සමාගමට ලබා දිය හැකිය.

2019 පෙබරවාරි මස සිට මෙම පාවහන් යුගලය වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

මේ තොරතුරුද කියවන්න:

"ලේස් පටි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම සපත්තු නිර්මාණය ඇත්තෙන් ම ඓතිහාසික පියවරක්. Back to the Future සිනමාපටයේ පෙන්වූ සපත්තු දැන් හැබෑ ලෝකයේ දැකගන්න පුළුවන්. පසුගිය වසරේ නයිකි සමාගම මේ සපත්තු ගැන ඉඟි පළ කරද්දී බොහෝ අය විවිධ මත පළ කළා. සිනමා ලෝලීන් සහ නයිකි සපත්තුවලට ප්‍රිය කරන පිරිස් මෙම සපත්තුව මිල දී ගනු ඇතැයි මම සිතනවා," Wearable tech (වෙයාරබල් ටෙක්) ආයතනයේ Wareable නම් වෙබ අඩවියේ කර්තෘ මයිකල් සවා පැවසීය.

"කෙසේ වෙතත්, සපත්තුවක ලේස් ඉවත් කළ යුතු දැයි යන්න ගැන අනිවාර්යයෙන් ම විවාදයක් මතු වෙනවා. මට හොඳට මතකයි 2012දී නයිකි ආයතනය දුවන ඉසව්වල තරග කරන ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කාලය වාර්තා කර ගත හැකි ස්මාර්ට් සපත්තු වර්ගයක් ඉදිරිපත් කළා. නමුත් එහි නිවැරදි දත්ත සටහන් වෙන්නේ නැති නිසා නිෂ්පාදනය හෙමීට නැති වෙලා ගියා."

Image copyright NIKE
Image caption මෙම තාක්ෂණය ඔවුන්ගේ අනෙක් පාවහන්වලටත් යොදා ගන්නා බව නයිකි සමාගම පවසයි

"මේ තාක්ෂණය ඔවුන්ගේ අනෙක් සපත්තුවලටත් යොදා ගන්නවා කියලා නයිකි ආයතනය කියනවා. එතකොට තමයි මෙය තවත් උප්පරවැට්ටියක් නොවී ඇත්තෙන් ම ප්‍රයෝජනවත් දෙයක් වෙන්නේ. දුවන ඉසව්වලට සහභාගී වන ක්‍රීඩකයන්ට තමන්ගේ සපත්තු ලේස් තදින් ගැට ගසා තිබීම ඉතා වැදගත්" යැයි මයිකල් සවා තවදුරටත් පැවසුවේය.

"අපි බොහෝ කාලයක ඉඳන් ස්මාර්ට් සපත්තු නිෂ්පාදනයක් බලාපොරොත්තුවෙන් සිටියා. එය තාක්ෂණය මුසු කිරීමට ඉතාමත් සුදුසු භාණ්ඩයක්. නමුත්, සපත්තු නිෂ්පාදකයන්ගේ අරමුණ ඒවා භාවිත කිරීම ගැන සහ ක්‍රියාකාරීත්වය ගැන දත්ත ලබා ගැනීමයි," ජංගම දුරකතන විශ්ලේෂකයෙකු වන බෙන් වුඩ් පැවසීය.

"වෙනත් තාක්ෂණික උපකරණ වගේ ම මේ සපත්තුව පරිහරණය කරන අයගේ දත්ත අදාළ ආයතනය පාවිච්චි කරන ආකාරය ගැන සැලකිය යුතු වෙනවා. නමුත්, හෘද ස්පන්දනය මැනිය හැකි උපකරණ වැනි සෞඛ්‍ය සමග සෘජුව සම්බන්ධ දේවලින් ලබා ගන්නා දත්ත සමග සංසන්දනය කිරීමේදී මෙවැනි සපත්තුවකින් නයිකි ආයතනයට ලබා ගත හැකි වන්නේ ඉතා කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි."

තවත් තොරතුරු: