ඉන්දියාව: ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට පිවිසේ

Priyanka Gandhi into politics Image copyright AFP
Image caption ඇයගේ පැමිණීම කොංග්‍රස් පක්ෂයට නව බලයක් එක් කරනු ඇති බව විශ්ලේෂකයෝ පවසති

ඉන්දියාවේ මහ මැතිවරණයට මාස කීපයක් තිබිය දී කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට සම්බන්ධ වූ බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

ප්‍රියංකා ගාන්ධි ඉතා තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස පත් කර තිබේ.

පෙර පැවති මැතිවරණවල දී ඇය සිය මව සහ සොහොයුරා වෙනුවෙන් බොහෝ රාජකාරි ඉටු කළ ද දේශපාලන නිලතල දැරීම ප්‍රතික්ෂේප කළාය.

ඇයගේ පැමිණීම කොංග්‍රස් පක්ෂයට නව බලයක් එක් කරනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.

2014 වසරේ පැවති මහ මැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය හමුවේ දරුණු ලෙස පරාජයට පත් වූ අතර, නැවත ගොඩනැගීමට අපහසු තත්වයක පැවතුණි.

කෙසේනමුත්, කොංග්‍රස් පක්ෂය පසුගිය ප්‍රාන්ත මැතිවරණවල දී සිය ඡන්ද පදනම වැඩි කරගැනීමට සමත් වූවත්, භාරතීය ජනතා පක්ෂය පරදා බලයට පත් වීම තවමත් අභියෝගයක්ව පවතී.

පසුගිය දිනවල ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට එක් වීම ගැන සමාජ මාධ්‍යවල විශාල කතාබහක් ඇති වී තිබිණි. මේ අතර, බදාදා (ජනවාරි 23) දින කොංග්‍රස් පක්ෂය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම පුවත නිල වශයෙන් දැනුම් දුන්නේය.

ප්‍රියංකා ගාන්ධි පක්ෂයේ ඉහළ තනතුරකට පත් කළ යුතු යැයි එහි සාමාජිකයන් වසර ගණනාවක සිට පැවසුවත්, දරුවන් දෙදෙනෙකු මවක් වන 47 හැවිදිරි ප්‍රියංකා මේ වනතෙක් කිසිදු තනතුරක් භාර නොගත්තාය.

ගාන්ධි පවුල බොහෝ කලක් ඉන්දියාවේ බලය හිමිකරගෙන සිටි අතර, ප්‍රියංකාගේ පියා රජීව් ගාන්ධි සහ මිත්තණිය ඉන්දිරා ගාන්ධි අගමැති පදවි දැරූහ.

මේ තොරතුරුද කියවන්න:

සබැඳි විෂයයන්