සටන්කරුවා ද, වින්දිතයා ද? - පිළිකා රෝගියෙකු ආමන්ත්‍රණය කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු

BBC
Image caption "මම නිර්භය හෝ ධෛර්යය වඩවන කෙනෙක් නෙවේ. මම මගේ ජීවිතය ජීවත් කරවන්න උත්සහ කරනවා පමණයි,"

සටන්කරුවා, රණ ශූරයා, වීරයා - යන වචන පිළිකාවෙන් පීඩා විඳින්නෙකු හැඳින්වීමට අප භාවිත කරන වචන කිහිපයකි.

එහෙත්, නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, පිළිකා රෝගීන් සම්බන්ධයෙන් භාවිත කරන ඇතැම් වචන නුසුදුසු බවය.

පිළිකා රෝගයෙන් පීඩා විඳි හෝ පීඩා විඳින පුද්ගලයින් 2000ක් යොදාගෙන කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, "පිළිකාව වැළඳුණු" සහ "වින්දිතයා" යන වචන ඔවුන් ඇසීමට අකමැති ම වචන අතර වන බවය.

සමීක්ෂණය කළ මැක්මිලන් කැන්සර් සපෝර්ට් (Macmillan Cancer Support) නමැති පුණ්‍යායතනය පැවසුවේ, පිළිකාව හැඳින්වීම සඳහා භාවිත කරන වචන කෙතරම් මතභේදාත්මක ද යන්න මෙම සමීක්ෂණයෙන් පෙනී ගිය බවය.

මේ තොරතුරුත් කියවන්න.

පිළිකාව "යුද්ධයක්" හෝ "සංග්‍රාමයක්" ලෙස හඳුන්වා රෝගියා මිය ගිය පසු "යුද්ධයෙන් පරාජය විය" හෝ "සටනින් පරාජය ලැබීය" යන වදන් යෙදීම නුසුදුසු බව ද සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මාධ්‍ය වාර්තාවල සහ සමාජ මාධ්‍යවල පළ වන ලිපිවල මෙවැනි වචන බරපතළ ලෙස භාවිත වන බවට චෝදනා එල්ල වේ.

පිළිකාව, පිළිකා රෝගීන් සහ පිළිකාවකින් යම් පුද්ගලයෙකු මිය ගිය පසු භාවිත කළ යුතු වචන කවරේ ද යන්න පිළිබඳව ද මෙම සමීක්ෂණයෙන් හඳුනාගෙන තිබේ.

'මම ධෛර්යය වඩවන්නෙකු නොවෙමි'

47 හැවිරිදි මැන්ඩි මේහනි සුව කළ නොහැකි පියයුරු පිළිකාවක් සහිත රෝගියෙකි.

ලන්ඩන්වාසී කාන්තාවක වන ඇයට පියයුරු පිළිකාවක් වැළඳී ඇතැයි 2011 වසරේදී හඳුනාගෙන ඇති අතර, එය පස් වරක් යළි යළිත් මතුව තිබේ.

ඇය පැවසුවේ, "මම හිතන්නේ, පිළිකාව සම්බන්ධ වචන බොහෝ විට සෘණාත්මක පැත්තට බරයි. නිර්භීත, සටන්කරුවා, ශූරයා සහ ගැලවුම්කරු වගේ වචන නිසා අලුතෙන් පිළිකාව වැළඳුණු රෝගීන්ට අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා," යනුවෙනි.

පිළිකාවකින් පීඩා විඳින්නන් හැඳින්වීමේදී "සංග්‍රාමයෙන් පරාජයට පත්වෙමින්" යන වචන භාවිතයට තමන් විරුද්ධ බව ද ඇය පැවසීය.

"ඒකෙන් කියවෙන්නේ ඔහු සටන් කළේ නැහැ නැත්නම් සටන අත් හැරියා කියන එකයි."

එවැනි වචන වෙනුවට ඇගේ කැමැත්ත වී ඇත්තේ, ඇය හැඳින්වීමට "පැහැදිලි, සැබෑ බසක්" එනම් "සුව කළ නොහැකි පිළිකාවක් සමගින් දිවි ගෙවන" යනුවෙන් භාවිත කිරීමය.

"මම නිර්භය හෝ ධෛර්යය වඩවන කෙනෙක් නෙවේ. මම මගේ ජීවිතය ජීවත් කරවන්න උත්සහ කරනවා පමණයි," ඇය ප්‍රකාශ කළාය.

Image caption ක්‍රෙග් ටෝලි පවසන්නේ, පිළිකා රෝගීන්ගේ ධෛර්යය වඩවන ධනාත්මක වචන පවතින බවය.

කෙසේ වෙතත්, 2016 වසරේදී තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති බවට හඳුනා ගැනුණු ක්‍රෙග් ටෝලි පවසන්නේ, පිළිකා රෝගීන්ගේ ධෛර්යය වඩවන ධනාත්මක වචන පවතින බවය.

විවේක වේලාවන්හිදී බර ඉසිලීමේ නිරත වන 31 හැවිරිදි ක්‍රෙග් පවසන්නේ, සටන, සංග්‍රාමය, ගැටුම, රණ ශූරයා යන වචන විවිධ පුද්ගලයින්ට විවිධාකාරයෙන් අර්ථ ගැන්වෙන බවය.

"පෞද්ගලිකව එවැනි වචන මට ලොකු උපකාරයක් වුණා මගේ පිළිකාව මට අභියෝගයක් බවත් ඒකට එරෙහිව සටන් කළ යුතු බවත් සිතන්න."

"සටන්කරුවන් ගැන කතා ඇසීමට හැමෝ ම කැමතියි."

'මතභේදාත්මක වචන'

මැක්මිලන් කැන්සර් සපෝර්ට් ආයතනයේ ප්‍රධාන හෙද නිලධාරී කරන් රොබර්ට්ස් පැවසුවේ, "භාවිත කිරීමට සුදුසු තෝරා ගැනීම කෙතරම් අපහසු ද යන්න මෙම සමීක්ෂණයෙන් පෙනී ගිය" බවය.

"මේ සමීක්ෂණය කෙරෙහි අවධානය යොමු කරලා පිළිකා රෝගීන් ඇසීමට වඩාත් කැමති වචන මොනවා ද කියල වටහා ගන්න ජනතාව දිරිමත් කළ යුතුයි. ඒ මගින් එවැනි රෝගීන්ගේ යහ පැවැත්ම සහ සබඳතාවලට බලපාන හානි නතර කළ යුතුයි."