ටැන්සානියාව: 'ශරීර අවයව ගැනීමට' දරුවන් හය දෙනෙක් මරා දමයි

කන් සහ දත් ලබා ගැනීම සඳහා දරුවන් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි ටැන්සානියාවේ ජොම්බේ (Njombe) දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව එහි බලධාරීහු පවසති.

වයස අවුරුදු 2ත් 9ත් අතර පසු වූ එම දරුවන්ගේ මළ සිරුරුවල පාද පවා නොතිබූ බව එරට පොලිසිය පවසයි.

"මේ දේවල් කරන්නේ මිථ්‍යාදෘෂ්ටික විශ්වාස නිසා. ගොඩක් මිනිස්සු හිතනවා, ඒ මගින් යක්ෂයින්ගෙන් උපකාර ලැබෙනවා කියලා," ජොම්බේ දිස්ත්‍රික් පොලිස් කොමසාරිස් රූත් සාෆිරි පැවසීය.

පොලිසිය මේ වන විට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ඝාතනයට ලක්වූ දරුවන් තිදෙනෙකුගේ පවුල්වල සමීපතම ඥාතියෙකු බව හෙළි වී තිබේ.

දෙසැම්බර් මාසයේ සිට ජොම්බේ දිස්ත්‍රික්කය තුළ දරුවන් 10 දෙනෙකු අතුරුදන් වී සිටි අතර, ඉන් 4 දෙනෙකු බේරා ගැනීමට සමත්ව තිබේ.

එරට මාධ්‍යවේදීන් පවසන්නේ, මිනිස් ශරීර කොටස් තුළ ධනවත් වීම සඳහා විශේෂ ශක්තියක් පවතින බවට ඇතැම් මිථ්‍යා දෘෂ්ටික ගුරුකම් කරන්නන් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට පවසන බවය.

"තමන්ගේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න ගමන් මේ ක්‍රියාවල නිරත වන පුද්ගලයින් හඳුනා ගන්න උදව් කරන්න කියලා අපි දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා," දිස්ත්‍රික් පොලිස් කොමසාරිස්වරයා බීබීසී පුවත් සේවයට පැවසීය.

අදාළ දරුවන් රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවෙස්වලින් රැගෙන ගොස් ඇත්තේ, දෙමාපියන් වෙළෙඳ පොළේ ව්‍යාපාරවල නිරත වෙමින් සිටි අවස්ථාවලදීය.

ටැන්සානියාව

ටැන්සානියාව තුළ සෙසු අප්‍රිකානු රටවල මෙන් අභ්‍යන්තර ගැටුම් විශාල වශයෙන් නොමැති රටකි.

එහෙත්, අභ්‍යන්තර ස්ථාවරත්වයක් පැවතිය ද ටැන්සානියානු ජාතිකයෝ ආර්ථික සෞභාග්‍යයකට හිමිකම් නොකියති. එහි ජනතාවගෙන් වැඩි පිරිසක් ලෝක බැංකුවේ දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමක සිටිති.

තවත් කියවන්න:

සබැඳි විෂයයන්