සිංගප්පූරු එච්අයිවී ආසාදිත ලේඛනයේ දත්ත පිට වෙයි

Image copyright EPA
Image caption සැකකරු

සිංගප්පූරුවේ එච්අයිවී ආසාදිතයින් 14000කගේ රහස්‍ය දත්ත සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැර තිබේ. සිංගප්පූරුවට පැමිණි විදෙස් අමුත්තන්ගේ දත්ත ද ඒ අතර වේ.

සඳුදා (ජනවාරි 28) බලධාරීන් අනාවරණය කළේ, 2016 වසරේ සෞඛ්‍ය දත්ත ගොනුවක් එලෙස නිරාවරණය වී ඇති බවය.

සිංගප්පූරු බලධාරීන් විශ්වාස කරනුයේ, ජ්‍යෙෂ්ඨ සිංගප්පූරු වෛද්‍යවරයෙකුගේ සහකරුවෙකු වූ එච්අයිවී ආසාදිත ඇමෙරිකානු වැසියෙකු මෙම දත්ත සොරකම පසුපස සිටින බවය.

මීට මාසයකට පෙර ද, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සීන් ලූං ඇතුළු සිංගප්පූරු වැසියන් මිලියන 1.5කට අයත් වාර්තා සොරකම් කර තිබිණි.

මෙසේ නිරාවරණය වූ දත්ත අතර ආසාදිතයින්ගේ නම්, ලිපිනයන්, ආසාදිත මට්ටම සහ වෙනත් සෞඛ්‍ය තොරතුරු ඇතැයි වාර්තා වේ.

2013 වසරේ ජනවාරි දක්වා ලේඛනගත කර තිබූ සිංගප්පූරු වැසියන් 5400 දෙනෙකුගේ සහ විදේශිකයින් 8800 දෙනෙකුගේ දත්ත ඒ අතර වන බව බලධාරීහු පවසති.

2015 වසර වන තුරු එච්අයිවී ආසාදිත විදේශිකයින්ට සංචාරකයින් ලෙස හෝ සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර නොතිබිණි.

මේ වන විට දින 90ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටින්නන්ට එච්අයිවී ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමේ සෞඛ්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවේ.

කියවන්න:

Image copyright Getty Images

දත්ත සොරකම පසුපස සිටියේ කවුද?

බලධාරීන් විශ්වාස කරන්නේ, 2008 වසරේ සිට සිංගප්පූරුවේ වාසය කළ ඇමෙරිකානු වැසියෙකු මෙම දත්ත සොරකම පසුපස සිටින බවය.

මිකී ෆරේරා බ්‍රොෂෙස් නමැති ඔහු, සෞඛ්‍ය වංචා සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගත කර 2016 වසරේදී රටින් පිටුවහල් කරනු ලැබූවෙකි.

ඔහු සිංගප්පූරුවේ ජාතික මහජන සෞඛ්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී ල(ර්) ටෙක් සියෑංගේ සහකරුවෙකු විය. පසුව එම ඇමෙරිකානු වැසියාගේ එච්අයිවී දත්ත සැඟවීමට සහය දීමේ චෝදනාව ල(ර්) ටෙක් සියෑංට එල්ල විය.

බලධාරීන් පවසන්නේ, ෆරේරා බ්‍රෝෂෙස්ට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ දීම සඳහා ල(ර්) ටෙක් සියෑං සිය රුධිර වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

ල(ර්) ටෙක් සියෑං රහස්‍ය ලේඛන පරිහරණය කිරීමේදී රජයේ පවත්නා ප්‍රතිපත්ති අනුව කටයුතු කර නොමැති බවට නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කර තිබේ.

තවත් කියවන්න:

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
එච්අයිවී රෝගීන් වෙනුවෙන් කැප වුණු HIV ආසාදිතයා