ආමාශයේ ගෙඩි සහ තුවාල නිරීක්ෂණය කිරීමට පිම්බෙන බෙහෙත් පෙත්තක්

Image copyright XINYUE LIU

ආමාශය ආශ්‍රිත ගැටිති සහ තුවාල හඳුනා ගැනීම සඳහා සුවිශේෂී 'බෙහෙත් පෙත්තක්' නිෂ්පාදනය කළ බව ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් පවසති.

ඔවුන් පවසා ඇත්තේ, ජෙලිමය ස්වභාවයක් ගන්නා කුඩා පෙත්ත පානය කිරීමෙන් පසු එය ආමාශය තුළදී 'පිංපොං' බෝලයක ප්‍රමාණයට විශාල වන බවය.

මේ තොරතුරුත් කියවන්න..

මෙම සුවිශේෂී බෙහෙත් පෙත්ත නිෂ්පාදනය කළ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ, මෙම ඖෂධය මාසයක කාලයක් ආමාශය තුළ ක්‍රියාකාරීව පවතින බවය.

මෙය ඌරන් භාවිත කරමින් පරීක්ෂණයට ලක් කර ඇති අතර, මෙතෙක් මිනිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නොමැත.

මෙම බෙහෙත් පෙත්ත සකස් කර ඇත්තේ, 'හයිඩ්‍රොජෙල්' වර්ග දෙකකිනි. එහි ඇතුළත ස්ථරය අවශෝෂක අංශුවලින් ද පිටත ස්ථරය ආරක්ෂිත පටලයකින් ද සමන්විතය.

එමගින් මෙම පෙත්තෙහි ජෙලිමය ස්වභාවය දිගටම රඳා පවතින අතර ආමාශය තුළදී එය විස්තාරණය වීමට ද උපකාරී වෙයි. එම නිසා මෙම පෙත්ත ආහාර ජීර්ණ පද්ධතියේ අනෙක් කෙළවර කරා ගමන් කිරීමද නවතාලයි.

මෘදුයි ඒත්, ශක්තිමත්

විද්‍යාඥයින් පවසන්නේ, කැල්සියම් සංයෝගයක් පානය කිරීමෙන් මෙම පෙත්ත කලින් තිබූ ප්‍රමාණයට කුඩා වන අතර, එමගින් එය ඕනෑ ම අවස්ථාවක ආමාශයෙන් ඉවත් කළ හැකි බවය.

කුඩා වීමෙන් පසුව එය ශරීරයෙන් ආරක්ෂිතව ඉවතට යයි.

විද්‍යාගාර පරීක්ෂණවලදී පෙනීගොස් ඇත්තේ, ආමාශයික යුෂ මිශ්‍ර ජලය ස්පර්ශ වීමෙන් එම පෙත්ත මිනිත්තු 15ක් ඇතුළත පවතින විශාලත්වයට වඩා 100 ගුණයකින් විශාල වන බවය.

Image copyright XINYUE LIU, SHOATING LIN

එපමණක් නොව, ආහාර ජීර්ණය සඳහා ස්වභාවිකව සිදුවන ආමාශයික සංකෝචනයේ දී පවා, විස්තාරණය වූ මෙම පෙත්තට හානි සිදු නොවන බව විද්‍යාඥයන්ට පෙනී ගොස් ඇත.

ප්ලාස්ටික් සහ ලෝහ වර්ග යොදා ගනිමින් දැනට නිපදවා ඇති විකල්ප බෙහෙත් පෙතිවලට වඩා මෙම පෙත්ත මෘදු වන අතර සාපේක්ෂව වැඩි කාලයක් ආමාශය තුළ ක්‍රියාකාරීව පවතින බව පර්යේෂකයෝ පවසති.

උෂ්ණත්වය මැන බැලිය හැකි කුඩා සංවේදකයන් මෙම බෙහෙත් පෙති තුළට ඇතුළු කොට ඌරන්ට ලබා දීමෙන් අනතුරුව දින 30ක කාලයක් දක්වා එම සතුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකිවී තිබේ.

ඌරන් ගේ ආමාශය සහ බඩවැල් හි ක්‍රියාකාරිත්වය මිනිසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට බෙහෙවින් සමාන වේ.

"අපේ සිහිනය වෙලා තියෙන්නේ, ආමාශය තුළ මාසයක් වගේ දිගු කාලයක් රැඳී ඉඳිමින් රෝගීන්ගේ සෞඛ්‍යය පරීක්ෂා කළ හැකි ස්මාර්ට් බෙහෙත් පෙත්තක් නිපදවීමයි." මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ සහය මහාචාර්ය ෂුආන්හේ සාඕ පැවසීය.

ගැටිති හෝ තුවාල හඳුනා ගැනීම

විවිධ වර්ගයේ සංවේදක (sensors) අන්තර්ගත කොට මෙම බෙහෙත් පෙත්ත ආමාශගත කළ හැකි බවට විද්‍යාඥයෝ කල්පනා කරති.

එම සංවේදක මගින් බැක්ටීරියා හෝ වෛරස් හඳුනා ගැනීමට හැකිවනු ඇත.

ආමාශය තුළ ගෙඩි හෝ තුවාල වේනම් එහි වර්ධනය දීර්ඝ කාලීනව නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂුද්‍ර කැමරා ශරීරගත කිරීමට මෙම බෙහෙත් පෙත්ත යොදා ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර