විජේ මල්යා: ඉන්දීය ධන කුවේරයා බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට අනුමැතිය

Image copyright AFP/Getty

දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන විජේ මල්යා (Vijay Mallya) පිටුවහල් කිරීම සඳහා එක්සත් රජධානියේ ස්වදේශ කටයුතු ලේකම් සජිඩ් ජාවිඩ් අනුමැතිය දී තිබේ.

අදාළ පියවර ගෙන ඇත්තේ, චෝදනා සම්බන්ධ නඩු විභාගය සඳහා ඔහු සිය රට වෙත යැවිය යුතු බවට ලන්ඩන් අධිකරණයක් දුන් තීන්දුවෙන් මාස දෙකකට පසුවය.

කලක් කිංග්ෆිෂර් (Kingfisher) බියර් සමාගම ද ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විජේ මල්යා, අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ණය ගෙවීම පැහැර හරිමින් 2016 වසරේ මාර්තු මාසයේදී ඉන්දියාවෙන් පිට වී තිබේ.

රටින් පිටුවහල් කිරීම සඳහා ලබා දී ඇති අනුමැතියට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කිරීමට ඔහුට දින 14 ක කාලයක් ලැබේ.

තමන් ඉන්දියාවෙන් "පළා ගිය" බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු පවසන්නේ, "කොන්දේසි විරහිතව" සියලු මුදල් ආපසු ගෙවීමේ යෝජනාවක් පිළිබඳ තමන් පසුගිය ජූලි මාසයේදී දැනුම් දුන් බවය.

දැවැන්ත චරිතයක්

Image copyright Getty Images

ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයින් අතර ඉහළ ස්ථානයක රැඳී සිටි විජේ මල්යාගේ ගෞරවය බිඳ වැටුණේ ඉතාමත් ශීඝ්‍රයෙනි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සහ ෆෝමියුලා 1 මෝටර් රථ තරග සම්බන්ධයෙන් ආයෝජනය කිරීමට පෙර, ඔහු සිය වත්කම් ඉහළ දමා ගත්තේ, කිංෆිෂර් බියර් සමාගම හරහාය. ඔහු 2005 වසරේදී කිංෆිෂර් ගුවන් සමාගම ආරම්භ කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක නොවේ.

කිංග්ෆිෂර් ගුවන් සමාගමේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඔහුට චෝදනා රැසක් එල්ල විය. ඔහුගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශය සහ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනය කරන ආයතනය පරීක්ෂණ පැවැත්වීය.

මේ තොරතුරුත් කියවන්න.

2012 වසරේදී විජේ මල්යා තමනට අයත්ව තිබූ 'United Spirits' සමූහයේ කොටස්වලින් වැඩි කොටසක් බ්‍රිතාන්‍යයේ දැවැන්ත බීම සමාගමක් වන 'Diageo සමාගමට විකුණා දැමූ අතර, එම මුදල් යොදවා අදාල සමාගමේ ණය ගෙවා දැමීමටත් කිංග්ෆිෂර් ගුවන් සමාගමට ආයෝජනය කිරීමටත් පියවර ගත්තේය.

2012 වසරේදී කිංග්ෆිෂර් ගුවන් සමාගමේ ගුවන් ගමන් ආරම්භ කළ අතර ඊළඟ වසරේදී ඔහුට ගුවන් යානා බලපත්‍රය අහිමි විය. ඉන්පසු ඔහු වසර 5 ක් වාර්ෂිකව පාඩු ලැබූ අතර ඒ සඳහා ණය දීම ද මූල්‍ය ආයතන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ගුවන් සමාගම සම්පූර්ණයෙන් නතර කෙරිණි.

නොගෙවූ වැටුප්, මෙහෙයුම් වියදම් ඇතුළත්ව විජේ මල්ල්යාගේ ඇස්තමේන්තුගත සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.

මීට වසර කිහිපයකට පෙර ඉහළ පෙළේ චරිතයක් වූ විජේ මල්යා හඳුන්වනු ලැබුවේ, "ඉන්දියාවේ රිචර්ඩ් බ්‍රැන්සන්" ලෙසය.