තායිලන්ත අනාගතය විසඳීමට සැරසෙන උත්බොත්රත් මහිඩොල් කුමරිය

තායිලන්ත අනාගතය විසඳීමට සැරසෙන රජ කුමරිය Image copyright AFP

තායිලන්ත රජුගේ සහෝදරිය එහි ඊළඟ අගමැතිවරයා තේරීමේ තරඟයට ඉදිරිපත් වී තිබේ. එය කිසිවෙක් අපේක්ෂා නොකළ තත්‍වයකි.

ඉදිරිපත් කර ඇති ලේඛන අනුව 67 හැවිරිදි උත්බොත්රත් මහිඩොල් කුමරිය මතභේදාත්මක හිටපු අගමැති තක්ෂින් සිනවත් ට සම්බන්ධ පක්ෂයකින් ඉදිරිපත්වීමට නියමිතය.

සම්ප්‍රදානුකූලව තායි රජ පවුල ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඈත් ව සිටින අතර ඇයගේ මෙම තීන්දුව ඊට එරෙහිව යන්නකි.

තායි මැතිවරණය මාර්තු 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙය, වසර 5 ක් තිස්සේ හමුදාව මගින් පාලනය වන තායිලන්තය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමට ඇති පළමු අවස්ථාව ලෙස සැළකේ.

උත්බොත්රත් මහිඩොල් කුමරිය කවුද?

1951 දී උපත ලද උත්බොත්රත් රත්චකන්‍යා සිරිවතනා පත්නවඩී කුමරිය, ජනතා ආදරය දිනාගත් භූමිපාල් අතුලතේජ් රජතුමාගේ වැඩිමහල් දියණියයි. ඔහු 2016 දී මියගියේය.

Image caption තායිලන්ත රජතුමා නිකුත් කළ නිවේදනය

මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ අධ්‍යාපනය ලැබූ ඇය, 1972 දී ඇමෙරිකානුවෙක් හා විවාහ වී රජ පෙළපත් නාමය අතහැර දැමිය.

නමුත් දික්කසාද වී 2001 දී නැවත තායිලන්තට පැමිණි ඇය යළිත් වරක් රාජකීය කටයුතු හා සම්බන්ධ වුවාය.

සමාජ මාධ්‍යය හා ක්‍රියාශීලි ලෙස සම්බන්ධ වී සිටින මෙම රජ කුමරිය තායි චිත්‍රපටි කිහිපයකද රඟපා ඇත.

ඇය තෙදරු මවකි. එක් දරුවෙක් 2004 සුනාමියට හසුවී මියගිය අතර අනෙක් දරුවන් දෙදෙනා මේ වන විට තායිලන්තයේ වාසය කරති.

ඇය තක්ෂින් සිනවත්ට පක්ෂපාතී Thai Raksa Chart නම් පක්ෂයෙන් මැතිවරණයට තරග කිරීමට සූදානම් වේ.

මේ තොරතුරුත් කියවන්න:

ඉන්ස්ටග්රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඇය අද (පෙබ 08) පැවසුවේ තමා රාජකීය කටයුතු වලින් සම්පුර්ණයෙන්ම ඉවත්ව සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ජිවත් වන බවයි.

අගමැතිධුරය සඳහා ඉදිරිපත් වීමෙන් සාමාන්‍ය පුරවැසියෙකුට හිමි අයිතිය හිමිකර ගැනීමට තමා ට වුවමනා වූ බව ඇය පවසන්නීය.

සියලු දෙනා සමග විශ්වාසවන්තව කටයුතු කරන බවත් තායි ජාතිකයින්ට සෞභාග්‍ය ලබා දීම තම අධිෂ්ඨානය බවත් ඇය කියයි.

මේ අතර බැංකොක්හි සිටින බීබීසීයේ ජොනතන් හෙඩ් පවසන්නේ මෙය සනාථ වුවහොත් එය තායිලන්ත දේශපාලන ක්ෂේත්‍රය උඩු යටි කුරු කරනු ඇති බවය.

තායි ජනතාවගේ ප්‍රතිචාරය

රජකුමරියගේ ආධාරකරුවන් තායි සමාජ මාධ්‍ය ජාල පුරා මෙම පුවත #LongLiveSlender යන හැෂ්ටැගය යොදාගෙන අදහස් පළ කරනු දැකිය හැක.

තායි මාධ්‍ය ආයතනයක් වන කාඕසොඩ් (Khaosod) පැවසුවේ හැෂ්ටැගය රජ කුමරිය සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ බවකි.

එහිදී ඇය "Long Live your Highness" යන වැකිය "Long Live Slender" ලෙස ඇසීමට වඩාත් කැමතියි යනුවෙන් පවසා තිබුණි..

සමහරු ඇයව ප්‍රබල ඓතිහාසික සහ කල්පිත කාන්තා නායිකාවකට සම කර තිබුණි.

පසුබිම කුමක්ද?

මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජන්දය 2014 දී වර්තමාන අගමැති ප්‍රයුත් චෑන්-ඕචා, තක්ෂින් සිනවත් ගේ බාල සොහොයුරිය වූ හිටපු අගමැතිනි යින්ලක් සිනවත් ඉවත්කර බලය ලබා ගැනීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණයයි.

මේ වන විට තක්ෂින් සිනවත් සහ ඔහුගේ සහෝදරිය විදේශගතව ජිවත් වෙති. නමුත් එරටේ බොහෝ දෙනෙක් තවමත් ඔවුන්ට පක්‍ෂපාතීය.

හමුදා නායකයින් විසින් හඳුන්වා දුන් නව ව්‍යවස්ථාව 2016 දී එරට ජනතාව අනුමත කළේය. එමගින් හමුදා බලපෑම තහවුරු කළ අතර තක්ෂින් සිනවත් ගේ මිතුරු පාර්ශව තවත් මැතිවරණ ජයගැනීම අවහිර කරන ලදි.

Image copyright Getty Images
Image caption වර්තමාන අගමැති ප්‍රයුත් චා-ඕචා

නමුත් තක්ෂින්ට හිතවත් පක්ෂයක් සමග රජ කුමරිය සම්බන්ධ වී ඇති බැවින් එම ගැටලු තව දුරටත් වලංගු නොවන බැව් පෙනෙන බව බීබීසී වාර්තාකරු පවසයි.

හමුදා කුමන්ත්‍රණයකින් 2014 දී බලය උදුරාගත් ජනරාල් ප්‍රයුත් ද මාර්තු මැතිවරණයට ඉදිරිපත්පත් වන බව සිකුරාදා පැවසීය.

රජුගේ විරෝධය

මේ අතර, තායිලන්තයේ මහා වචිරාලොන්ගෝන් රජ තම සොහොයුරිය අගමැති ධුරයට තරඟ කිරීම "නුසුදුසු" බව පවසමින් එය හෙළා දැක තිබේ.

තායි මාධ්‍ය ආයතන ඔස්සේ ප්‍රකාශයට පත් කළ නිවේදනයකින් රජ තුමා පවසා සිටියේ, "ඉහළ පෙළේ රජ පවුලේ සාමාජිකයෙක් දේශපාලන කටයුතු සමග කුමන හෝ ආකාරයකට සම්බන්ධ වීම රටේ සම්ප්‍රදාය, චාරිත්‍ර සහ සංස්කෘතිය හා නොගැලපේ. එබැවින් එය නුසුදුසු දෙයක්." යනුවෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර