දරුවන් වැඩිනම් හංගේරියානු රජයෙන් බදු සහන සහ ණය පහසුකම්

Decision to increase Hungarian population Image copyright Getty Images
Image caption සංක්‍රමිකයන් මත යැපීමෙන් වැලකී හංගේරියාවේ අනාගතය ගොඩනැගීම උදෙසා මෙම තීරණය ගත් බව එරට අගමැති වික්ටර් ඕබන් පවසයි

දරුවන් සිව් දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින මවක් සිය ජීවිත කාලය තුළ බදු ගෙවීම්වලින් නිදහස් කරන බව හංගේරියානු අගමැතිවරයා පවසයි. දරුවන් බිහිකිරීම වැඩි කිරීමේ සැලැස්මකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සංක්‍රමිකයන් මත යැපීමෙන් වැලකී හංගේරියාවේ අනාගතය ගොඩනැගීම උදෙසා මෙම තීරණය ගත් බව එරට අගමැති වික්ටර් ඕබන් (Viktor Orban) සඳහන් කළේය.

මුස්ලිම් සංක්‍රමිකයන්ට එරෙහි හංගේරියානු අගමැතිවරයා අන්ත දක්ෂිණාංශික පක්ෂයක් නියෝජනය කරයි.

සෑම වසරකදීම හංගේරියානු ජනගහනය 32,000කින් පහත වැටෙන අතර, එක් මවකට සිටින ළමුන් ගණන යුරෝපයේ දළ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය.

මේ අතර, තරුණ දෙමාපියන්ට හංගේරියානු මුදලින් මිලියන දහයක ණය මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇති අතර, තෙවැනි දරුවා බිහි කළ පසු එය නැවත ගෙවීමෙන් නිදහස් කරනු ලබයි.

"දරුවන් බිහිකිරීම පහත වැටෙමින් තිබෙන බටහිර රටවල් එයට විසඳුම් සොයන්නේ සංක්‍රමිකයන් ගෙන්වා ගැනීමෙන්."

"නැතිවෙන සෑම දරුවෙකු වෙනුවට තවත් කෙනෙකු අලුතින් බිහි විය යුතුයි. එයින් ජනගහනය තුලනය වෙනවා," යැයි වික්ටර් ඕබන් පැවසීය.

"හංගේරියානු මිනිස්සු සිතන්නේ වෙනස් ආකාරයකට. අපිට වැදගත් වෙන්නේ හංගේරියානු දරුවන් බිහිවීම මිසක් ඉලක්කම් වැඩි කිරීම නොවෙයි."

Image copyright EPA
Image caption හංගේරියානු අගමැති වික්ටර් ඕබන් (Viktor Orban)

අගමැතිවරයා සිය රටෙහි ජනගහනය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරද්දී, රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව හංගේරියාවේ බුඩාපේස්ට් අගනුවර දැවැන්ත උද්ඝෝෂණ පැවැත්විණ.

2000කට ආසන්න පිරිසක් ඔහුගේ කාර්යාලය අසල රැඳී සිටි අතර, තවත් විශාල පිරිසක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණහ.

දරුපල වැඩිකිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හතක් පිළිබඳ ඔහු කළ ප්‍රකාශයට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව වාර්තා වේ.

හංගේරියානු රජයේ මෙම සැලැස්මට පහත කරුණු ද ඇතුළත් විය:

  • ඉදිරි වසර තුන ඇතුළත නව පෙර පාසල් 21,000ක් ගොඩනැගීම.
  • සෞඛ්‍ය සේවය සඳහා තවත් ඩොලර් බිලියන 2.5ක් වෙන්කිරීම.
  • නිවාස සහනාධාර.
  • ආසන හතක් ඇති වාහනයක් මිල දී ගැනීම සඳහා රජයෙන් සහනාධාර.

අගමැතිවරයා සිය කතාව අවසන් කළේ "හංගේරියාව සහ හංගේරියානුවන් දිගු කල් ජීවත් වේවා!" යැයි පවසමිනි.

වර්තමානයේ හංගේරියානු කාන්තාවක් සිය ජීවිත කාලය තුළ දරුවන් වැදීමේ දළ අගය 1.45කි.

යුරෝපය තුළ කාන්තාවන් දරුවන් වැදීමේ දළ අගය 1.58ක් වේ.

1.96ක සාමාන්‍යය අගයක් වාර්තා කරන ප්‍රංශය යුරෝපයේ දරුවන් බිහිකිරීම අතින් ඉහළ ම ස්ථානයේ සිටින අතර, 1.33ක් වාර්තා කරන ස්පාඤ්ඤය පහළ ම ස්ථානයේ තිබේ.

බටහිර අප්‍රිකාවේ නයිජර් ලොව එක් කාන්තාවක් වැඩිම දරුවන් පිරිසක් බිහිකරන රට වන අතර, එහි දළ අගය 7.24කි.

මේ තොරතුරුද කියවන්න: