කෙන්යානු වනාන්තරයකදී කැමරා කාචයට හසු වූ අතිශය දුර්ලභ ‘කළු දිවියා’

Picture of a real black leopard Image copyright BURRARD-LUCAS PHOTOGRAPHY
Image caption වසර සියයක් ඇතුළත, අප්‍රිකාවේ ජීවත් වන කළු පැහැති දිවියෙකුගේ ඡායාරූපයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය බව ඇතැමෙක් පවසති

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ සිනමාපට සහ කාටූන් චරිත නිසා 'බ්ලැක් පැන්තර්' යන නාමය බොහෝ දෙනෙකු අසා තිබුණ ද ඒ සියලු චරිත නිර්මාණය කිරීමට පාදක වූ සත්වයා සැබැවින් දැකීම අතිශය දුර්ලභ අවස්ථාවකි.

විල් බුරාද්-ලූකස් (Will Burrard-Lucas) නැමැති වනජීවී ඡායාරූප ශිල්පියාට මෙම දුර්ලභ අවස්ථාව ලැබී ඇති අතර, වසර සියයක් ඇතුළත අප්‍රිකාවේ ජීවත් වන කළු පැහැති දිවියෙකුගේ ඡායාරූපයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය බව සමහරු පවසති.

රහසිගත දිවි පෙවතක් හිමි මෙම අපූරු සත්වයාගේ ඡායාරූප මෙතෙක් නිකුත් වී ඇත්තේ කිහිපයක් පමණි.

කෙන්යාවේ වනයක් තුළ කළු පැහැති දිවියෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු සැරිසරන බවට කටකතා පැතිර ගොස් තිබිණි.

Image copyright BURRARD-LUCAS PHOTOGRAPHY
Image caption ප්‍රමාණය අනුව මෙම කළු දිවියා වයස අවුරුදු දෙකක් පමණ වන පිරිමි සත්වයෙකු ලෙස හඳුනාගෙන තිබේ

මෙම දිවියාගේ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් විල් බුරාද්-ලූකස්, මගපෙන්වන්නෙකු වන ස්ටීව් සමග දිවියෙකුගේ පාද සටහන් ඔස්සේ ගමන් කර ඔවුනට වඩාත් සුදුසු යැයි හැඟුණ ස්ථානයේ කැමරාව සවි කර තිබේ.

"මේ විදියට කැමරා අටවලා මට පුරුදුයි. නමුත් බොහෝ වෙලාවට මේ දෙයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. කැමරාව අටවාගෙන සිටියත් අපි දන්නේ නැහැ අදාළ සත්වයා මේ මාර්ගයෙන් ම නැවත පැමිණේ ද කියලා. මෙය අනුමාන කරලා කරන වැඩක්." යැයි විල් බුරාද්-ලූකස් සඳහන් කළේය.

වනයේ තිබූ පා සලකුණු කළු දිවියාගේ ද නැතහොත් පුල්ලි සහිත වෙනත් සාමාන්‍ය දිවියෙකුගේ දැයි ඔවුහු දැන නොසිටියහ.

"මම බොහෝ බලාපොරොත්තු තබා ගත්තේ නැහැ. රාත්‍රී කීපයක් කැමරාව අසළ ගත කළ පසුත් කළු දිවියා නොදුටු නිසා වෙනත් දිවියෙකුගේ හෝ ඡායාරූපයක් ගැනීමට හැකිනම් මම ඉතා වාසනාවන්ත බව මම සිතුවා."

නමුත් හතර වන රාත්‍රියේදී ඔහුට වාසනාව උදා විය.

Image copyright BURRARD-LUCAS PHOTOGRAPHY
Image caption "මේ ඡායාරූපයේ මම දැක්කේ දිලිසෙන ඇස් දෙකක් විතරයි. දිවියාගේ පැහැය රාත්‍රියේ ඝන අඳුරට මුහු වෙලා තිබුණා"

"මම දැකපු දේ එකපාරට අදහාගන්න අමාරු වුණා. එය ඉතා අසාමාන්‍ය දෙයක්."

"සාමාන්‍යයෙන් මේ වගේ කැමරාවලින් ලබා ගන්න සතුන්ගේ ඡායාරූප ඉතා පැහැදිලියි. නමුත් මේ ඡායාරූපයේ මම දැක්කේ දිලිසෙන ඇස් දෙකක් විතරයි. දිවියාගේ පැහැය රාත්‍රියේ ඝන අඳුරට හොඳින් මුහු වෙලා තිබුණා."

ප්‍රමාණය අනුව මෙම කළු දිවියා වයස අවුරුදු දෙකක් පමණ වන පිරිමි සත්වයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

"මේ ප්‍රදේශයේ කළු දිවියන් ජීවත් වන බව අපි නිතර අසා තිබෙනවා, නමුත් ඔවුන් සිටින බව නියත ලෙස දැනගැනීමට ඉතා පැහැදිලි ඡායාරූප හෝ වීඩියෝ මෙතෙක් ලැබී තිබුණේ නැහැ." යැයි කෙන්යාවේ, ලයිකිපියා ප්‍රාන්තයේ දිවියන් පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමක් මෙහෙයවන ආචාර්ය නිකොලස් පිල්ෆෝල්ඩ් පැවසීය.

"වසර සියයකට පසු අප්‍රිකාවේ ජීවත් වන කළු දිවියෙකු ගැන ලැබුණු ප්‍රථම ඡායාරූපය මෙයයි. මුළු අප්‍රිකාවෙන් ම මේ ප්‍රදේශයේ විතරයි ඔවුන් සොයා ගන්න ලැබෙන්නේ."

Image copyright BURRARD-LUCAS PHOTOGRAPHY
Image caption "දිවියෙක් මේ වයසට එළඹෙන විට වෙනත් විශාල, ශක්තිමත් පිරිමි දිවියෙකු විසින් ඔහු අදාළ ප්‍රදේශයෙන් පන්නා දමනවා"

දිවියාගේ දේහ ලක්ෂණ හඳුනාගැනීමට හැකි තරමට අදාළ ඡායාරූප පැහැදිලි බව ආචාර්ය නිකොලස් පිල්ෆෝල්ඩ් සහ ඔහුගේ කණ්ඩායම "ස්ථිර" වශයෙන් පැවසීය.

"දිවියෙක් මේ වයසට එළඹෙන විට වෙනත් විශාල, ශක්තිමත් පිරිමි දිවියෙකු විසින් ඔහු අදාළ ප්‍රදේශයෙන් පන්නා දමනවා. එවිට ඔහු තමන්ට ජීවත් වීම සඳහා අලුත් ප්‍රදේශයක් සොයා ගත යුතුයි. ඒක නිසා කළු දිවියාගේ තවත් ඡායාරූප ගැනීම ගැන අපිට ඇත්තේ තරගයක්."

කළු දිවියෙකු බිහි වන්නේ කෙසේ ද?

කළු දිවියන් ද තවත් එක් සතුන් වර්ගයක් ලෙස දැකිය හැකි වුවත් එය එසේ නොවන බව ආචාර්ය නිකොලස් පිල්ෆෝල්ඩ් පවසන්නේය.

"ඔවුන්ට කළු වර්ණය ලැබෙන්නේ මෙලනින්වල බලපෑමෙන් වන අතර, ඔවුන් ද නිවසක ඇති කරන කළු පූසෙකු හෝ බිලාල කුලයට අයත් වෙනත් කළු පැහැති සතුන්ට සමානයි."

"කළු දිවියා ද මෙලනින් අධික ලෙස පිහිටි තවත් විශාල පූසෙක්. ආසියාවේ හෝ අප්‍රිකාවේ මොවුන් හඳුන්වන්නේ කළු දිවියා ලෙසයි."

"දකුණු ඇමරිකාවේ මොවුන් හඳුන්වන්නේ කළු ව්‍යාඝ්‍රයා ලෙසයි."

"බ්ලැක් පැන්තර් යනු ඔවුන්ට පටබැඳි නමක්."

විල් බුරාද්-ලූකස්ගේ කැමරාවේ සටහන් වූ පුල්ලි සහිත දිවියා කළු දිවියාගේ පියා වන්නට ද පුළුවන.

Image copyright BURRARD-LUCAS PHOTOGRAPHY
Image caption මේ, කළු දිවියාගේ පියා ද?

කළු දිවියෙකුගේ දෙමාපියන් තවත් කළු දිවියන් දෙදෙනෙකු වීමට අවශ්‍ය නැත. නමුත් මව සහ පියා තුළ මෙලනින් අධික ලෙස පිහිටීමට අදාළ නිලීන ජාන පිහිටිය යුතුය.

Image copyright BURRARD-LUCAS PHOTOGRAPHY
Image caption ඇත්තෙන්ම දුර්ලභ දර්ශනයක්

මේ තොරතුරුද කියවන්න: