එයාබස් A380 ගුවන් යානය සහ අසාර්ථක වූ තවත් ව්‍යාපාරික නිපැයුම් නවයක්

Image copyright Getty Images
Image caption The Airbus A380 never turned a profit

ලොව ප්‍රමුඛ ගුවන් යානා නිෂ්පාදන ආයතනයක් වන එයාබස් සමාගම තමන් A380 නම් සුවිශාල ගුවන් යානා නිෂ්පාදනය නවතා දමන බවට කළ නිවේදනය කිසිවෙකුටත් පුදුමය දනවන්නක් නොවීය.

මෙම යුරෝපීය ගුවන් යානා නිෂ්පාදකයා විසින් 2007 ඔක්තෝබර් මාසයේදී A380 ගුවන් යානා නිෂ්පාදනය අරඹනු ලැබූ තැන සිට වඩාත් කුඩා සහ කාර්යක්ෂම ගුවන් යානා මාදිලි සමග තරග කිරීමට සිදුවිය. මෙම යානා කිසි දිනෙක ලාභ නොලැබීය.

A380 යානය නිර්මාණය සඳහා එයාබස් සමාගම දළ වශයෙන් ඩොලර් බිලියන 25ක් යෙදවූ බවට අනුමාන කෙරේ.

ලොව සාර්ථක ම ආයතනවලින් කිහිපයක සහයෝගය ලැබුණත්, ලෝකයේ මෙතෙක් එළි දුටු අසාර්ථක නිෂ්පාදන සමූහයට එක් වන නවතම නිෂ්පාදනය වන්නේ A380 යානයයි.

මේ, එසේ අසාර්ථක වූ තවත් නිෂ්පාදන කිහිපයකි.

"පෙප්සි බ්ලූ" (Pepsi Blue)

Image copyright Pepsi
Image caption පෙප්සි බ්ලූ

2002දී දියත් කළ "පෙප්සි බ්ලූ" බෙරි රසැති පානයකි. එය ප්‍රචලිත කිරීමට මව් සමාගම විවිධ උපක්‍රම යොදා ගත්තේය. යෞවනයින් එම පානය වෙත ඇද ගැනීම සඳහා පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ද මුදල් ගෙවා යොදා ගැනිණි.

නමුත් "පෙප්සි බ්ලූ" ආරම්භයේ සිට ම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන්නේ, එහි, රටවල් කිහිපයක තහනම් කර ඇති "බ්ලූ 1" නම් ආහාර වර්ණකය අඩංගුව තිබූ නිසාය.

වෙළෙඳාම දුර්වල වූ බැවින් එය 2004දී ඇමෙරිකාවේ විකිණීම නවතා දැමුණ ද, තවමත් මෙම නිෂ්පාදනය ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ හමුවේ.

සැම්සං ගැලැක්සි නෝට් 7 (Samsung Galaxy Note 7)

Image copyright Reuters
Image caption This Note 7 handset caught fire inside a Southwest Airways flight in 2016

සැම්සං සමාගම විසින් 2016 අගෝස්තු මාසයේදී නිෂ්පාදනය අරඹන ලද තරමක් විශාල තිරයක් සහිත මෙම ජංගම දුරකතනය, ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා අසාර්ථක විය.

ගුවන්යානයක් තුළදී මෙන් ම ඇමෙරිකාවේ ස්ථාන කිහිපයකදී මෙම දුරකතන කිහිපයක් හදිසියේ ගිනි ගැනීම නිසා එහි නිෂ්පාදන කටයුතු අරඹා මාස දෙකකට පසු ලොව පුරා විකිණී තිබූ මිලියන 2.5ක් පමණ දුරකතන නැවත කැඳවන ලදි.

තමන් විසින් නැවත සපයන ලද උපාංග ආරක්ෂාකාරී බව සැම්සං සමාගම පැවසුවත් එම දුරකතනවල ද බැටරි තද බල ලෙස රත්වන බවට වාර්තා පළ විය.

ඉන්පසු එම නිෂ්පාදනය සම්පුර්ණයෙන් ම නවතා දමන ලදී.

මයික්‍රොසොෆ්ට් Zune (Microsoft Zune)

Image copyright Getty Images
Image caption මයික්‍රොසොෆ්ට් සූන්

අතේ රැගෙන යා හැකි සංගීත මෙවලම් (Portable music player) සඳහා වූ වෙළෙඳපොළ ඇපල් සමාගමේ අයි-පොඩ් (iPod) මගින් සාර්ථක ලෙස ජය ගනු දුටු මයික්‍රොසොෆ්ට් සමාගම සූන් (Zune) නමින් අලුත් නිෂ්පාදනයක් ඉදිරිපත් කළේය.

රැහැන් රහිතව (එම මෙවලම් අතර) ගීත හුවමාරු කර ගැනීම වැනි අයි-පොඩ් සතු නොවූ නව විශේෂාංග රැසකින් සමන්විත වුවත් නව මයික්‍රොසොෆ්ට් නිෂ්පාදනයට කිසි දිනෙක ඇපල් නිෂ්පාදනය සමග තරග කිරීම අපහසු විය.

එබැවින් එහි නිෂ්පාදන කටයුතු 2011දී නවතා දැමිණි.

සෙග්වේ (Segway)

Image copyright Getty Images
Image caption සෙග්වේ

රෝද දෙකක පුද්ගලික ප්‍රවාහන මෙවලමක් වූ මෙය 2001 වසරේදී එළිදැක්වූ අතර එම අවස්ථාව සජීවී ලෙස රුපවාහිනීය ඔස්සේ ද ප්‍රචාරය කෙරිණි.

ඇතැම් විචාරකයින් එය හැඳින්වූයේ ගමනාගමන ක්‍ෂේත්‍රයේ විප්ලවයක් ලෙසිනි.

සතියකට මෙම උපකරණ 10,000ක් විකුණාගත හැකිවෙතැයි නිෂ්පාදකයින් සිහින දුටුවත්, සත්‍ය වශයෙන් ම වසර 7ක් තුළදී විකුණා ගත හැකි වී ඇත්තේ උපකරණ 30,000කි.

අධික මිල සහ බලාපොරොත්තු එහි අසාර්ථකත්වයට හේතු වූ බව කියවේ.

අද වන විට ආරක්ෂක සහ හදිසි අවස්ථාවලට සම්බන්ධ පුද්ගලයින් මෙම ප්‍රවාහන මෙවලම ප්‍රයෝජනයට ගනී.

ක්වික්ස්ටර් (Qwikster)

Image copyright Getty Images

නෙට්ෆ්ලික්ස් මගින් ස්ට්‍රීමිං (Streaming) ව්‍යාපාරය 2011 වසරේදී අරඹන විට එහි ප්‍රධාන විධායක රීඩ් හේස්ටිංස් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඩීවීඩී කුලියට දීමේ සේවාව දිගට ම පවත්වා ගෙන යාමට තීරණය කළේය.

ක්වික්ස්ටර් බිහි වූයේ එසේය.

නමුත් එය නෙට්ෆ්ලික්ස් මගින් වෙන් කර, වෙන ම ගෙවීමක් කළ යුතු සේවාවක් බවට පත් කිරීම නිසා එක් මසක් තුළදී ම එම අදහස හකුළා ගැනීමට සිදුවූයේ 800,000ක් පමණ ග්‍රාහකයින් තම නෙට්ෆ්ලික්ස් සබඳතා අත්හැර දැමූ නිසාය.

නයිකි ෆියුල් බෑන්ඩ් (Nike's FuelBand)

ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදන දැවැන්තයෙකු වන Nike විසින් 2012දී පැළඳගෙන යා හැකි ශරීර සුවතා මාපකයක් (fitness tracker) හඳුන්වා දුන්නේය.

නමුත් සමාලෝචකයින් හෝ පාරිභෝගියකින්ගේ ප්‍රශංසා ඊට හිමි නොවිණි.

වෙළෙඳපොළේ ඒ වන විට ප්‍රමුඛයා වූ FitBit නමැති ප්‍රතිවාදී නිෂ්පාදනය අභිබවා යෑමට එයට නොහැකි විය.

"FuelBand" නිෂ්පාදනය නවතා දමන බව නයිකි සමාගම 2014දී නිවේදනය කළේය.

සෝනි අයිබෝ (Sony Aibo)

Image copyright Sony
Image caption රොබෝ සුනඛයා (Aibo)

සෝනි සමාගමේ රොබෝ සුනඛයා (Aibo) 1999දී මහත් බලාපොරොත්තු සහිතව වෙළෙඳපොළට නිකුත් කළේය. උපදෙස් 100කට ප්‍රතිචාර දැක්වීමට සහ කතා කිරීමේ හැකියාව ඊට තිබිණි.

ප්‍රථම ඒකක 3,000 වෙළෙඳපොළට නිකුත් කර පැයක් ගත වීමට පෙර විකිණී ගිය ද අයිබෝ කිසි දිනෙක ලාභදායී නොවීය.

සෝනි සමාගම එම නිෂ්පාදනය 2006දී නවතා දැමුව ද පසුගිය වසරේදී නැවත සීමිත නිෂ්පාදන සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කළේ එකක් ඇමෙරිකානු ඩොලර් 3,000 ක වැනි මිලකටය.

ජෙනරල් මෝටර්ස් හි EV1 මෝටර් රථය

Image copyright Getty Images
Image caption EV1 රථය

ලොව ප්‍රථම වරට විදුලි මෝටර් රථ මහා පරිමාණයෙන් නිපදවන ලද්දේ Elon Musk හෝ ටෙස්ලා (Tesla) සමාගම නොවේ. ඇමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමය. ඔවුහු 1996දී විදුලි මෝටර් රථ අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කළහ.

නමුත් එම රථවල තාක්ෂණික දුර්වලතා බහුල විය. EV1 රථය කැලිෆෝනියා සහ ඇරිසොනා ප්‍රාන්තවලට පමණක් හඳුන්වා දුන්නත්, ශීත කාලගුණ තත්ත්වයන්හිදී එම මෝටර් රථ නිසියාකාරව ක්‍රියා නොකරන බවට තොරතුරු වාර්තා විය.

වසර හතරකදී විකිණුණේ, EV1 රථ 1,100ක් පමණි. මෙම ව්‍යාපෘතිය 1999දී අත්හැර දමන ලදී.

ට්‍රම්ප් විශ්වවිද්‍යාලය

Image copyright Getty Images
Image caption ට්‍රම්ප් විශ්වවිද්‍යාලය

වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අධ්‍යාපනික ආයතනය 2005දී අරඹන ලද්දේ මිනිසුන්ට දේපළ වෙළෙඳ කර්මාන්තයෙන් මුදල් උපයන ආකාරය උගැන්වීමේ අරමුණෙනි.

එය 2010දී වසා දමන ලද්දේ දූෂණ චෝදනා එල්ලවීමත්, සිත් තැවුලට පත් සිසුන් කණ්ඩායමක් ඊට එරෙහිව නඩුවක් පැවරීමත් නිසාය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු ඩොලර් මිලියන 25ක් ගෙවා එම නඩුව 2017දී සමථයකට පත් කර ගත්තේය.

සබැඳි විෂයයන්